විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල 30%කින් අඩු කිරීමට ගත් පියවර අනුව මෙලෙස මිල අඩුවන බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

මේ අනුව පසුගිය 20 වනදා සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බවත් ඔහු පවසයි.

මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වනවිට වෙළෙඳ පොළට නිකුත් වන බවත් මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවත් ඔහු කියා සිටී.

මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත් විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කරයි.