පසුගිය මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 50ක අල්ලසක් ලබාගෙන ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව එම පිළේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විරෝධතා දියත් කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.

රුපියල් කෝටි 50ක අල්ලස පිළිබඳව පසුගිය 11දා පැවැති සමගි ජන බලවේගයේ කලමනාකරණ කමිටු රැස්වීමේදී දැඩි විවාදයක් ඇති වුවද, ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කිරීමට සජිත් ප්‍රේමදාස අපොහොසත් වී ඇත. මේ නිසා පක්ෂයට එල්ලවී ඇති බරපතළ අපවාදයෙන් මිදීම සඳහා මන්ත්‍රීවරු පිරිසක් විවිධ විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටී. පාර්ලිමේන්තු විවාදවලට එක්වීමෙන් වැළැකී සිටීම, රූපවාහිනී සංවාදවලට සහභාගී වීමෙන් වැළැකී සිටීම සහ ජන මාධ්‍ය හමුවේ පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමෙන් වැළැකී සිටීම වැනි ක්‍රියාමාර්ග දියත් කිරීමට සූදානම් බව වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප‍්‍රකාශ කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ අරමුදලට රුපියල් කෝටි 50ක මුදලක් කිසිම පුද්ගලයෙකුගෙන් ලැබී නැති බවයි. මේ සම්බන්ධව එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම තමාගේද මූලික අරමුණ බව රංජිත් මද්දුම බණ්ඩාර ප‍්‍රකාශ කර තිබේ.