අද රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා හිටිඅඩියේ එය ප්‍රතිකේෂ්ප කොට තිබේ.


අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර,එයින් නොනැවතී අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ කොට තිබුණි.


ඒ සියල්ල දැනුවත්ව සිටියදී කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නොකළ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මාධ්‍ය කණ්ඩායම අද උදෑසන ඔහුගේ සහභාගී නොවන බව දැනුම්දී තිබේ.එය දැනුම් දී ඇත්තේද කිසිදු තර්කානුකූල පදනමකින් තොරවය.


සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයා යැයි කියාගන්නා ඒ රානන්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත්තේ 360 වැඩසටහනට සහභාගී නොවන නිසා අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසය.


මෙම ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයාව පොළඹවා ඇත්තේ තවත් නාලිකාවක ප්‍රධානියකු විසින් බවත්,අදාළ ප්‍රධානියා විසින් සජිත් ප්‍රේමදාසගේ හිතවතකු මාර්ගයෙන් මෙම ප්‍රතික්ෂේප කරවීම සිදුකොට ඇති බවත් වාර්තාවේ.


මේ වන විට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයාව මෙහෙයවන්නේ එක්තරා නාලිකාවකින් වන අතර සම්බන්ධතාවයක් ද කිවහොත් සජිත් ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කළ මොහොතේ සිටම වසර විස්සකට අධික කාලයක් ඔහු වෙනුවෙන් පෙනී සිටි සිරස මාධ්‍ය නාලිකාව පවා ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.


කෙසේ වෙතත් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අදාළ වැඩසටහනට විපක්ෂ නායකවරයා සහභාගී වන බවට සහතික වී තිබියදීත් අතාර්කික පදනම් විරහිත ලිපියක් මගින් එම ආරාධනය හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් බෙහෙවින්ම කණගාටු වන බවයි.