ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම,

“පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳ ඔහුට දැනුමක් ඇති බව. ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නත්, ඊයේ (25) අභියාචනාධිකරණය විසින් ලබාදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වන් තීරණය කළා.

දේශපාලන පළිගැනීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසම විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට විරුද්ධව දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවා. මේ කරුණු දෙකම ජාතික වැදගත්කමකින් යුත් කරුණු දෙකක් නිසා ඒ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතු යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි විශ්වාස කරනවා.

2015 ජනවාරි මාසෙ 09දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පසුව ක්‍රියාත්මක වුණු අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 19දායින් පසුව ගෝටාබය රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව කොමිසමක් පත්කරනු ලැබුවා. 2015 ජනවාරි මාසයේ 09දා සහ 2019 නොවැම්බර් මාසේ 19 අතර කාල පරාසය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, FCID, මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව, මගින් කරනු ලැබූ යම් විමර්ශන මගින් යම් රජයේ සේවකයෙක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක නිලධාරියෙක්, ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිලධාරියෙක් පීඩාවකට පත්වෙලා තිබෙනවා නම්, ඔවුන්ගේ පීඩාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමයි මේ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ. මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතා. ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙක් හිටියා. හිටපු අභියාචනාධිකරන විනිශ්චයකාර, චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන අය. මේ කොමිෂන් සභාව ආරම්භ කලායින් පස්සේ මේ සභාව වෙතට 2015 -2019 අතර කාල සීමාව තුළ කළ අපරාධ විමර්ශනවලට අදාළ විමර්ශන නිලධාරීන්, සමහර නඩු මෙහෙයවපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රජයේ නිලධාරීන් මේ කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා, විවිධ අය විසින් කරනු ලැබූ පැමිණිලි බලන්න.

අනුර දිසානායක මහත්මයාට විරුද්ධව තිබුණු පැමිණිල්ල අර තිබුණු නිලධාරී ගොඩට අයිති වෙන්නේ නැහැ. ඔහු දේශපාලකයෙක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත්, පොලිස් දෙපාර්තමේන්තුවටවත්, FCIDයටවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවටවත් අයිති වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබුණේ පුද්ගලික පුරවැසියෙක්. මේ කාරණා දෙකටම කොමිෂන් සභාවට බලය දීපු ගැසට් පත්‍රයට අනුව අනුර දිසානායක මහතාට විරුද්ධව කිසිම ආකාරයකට ඒ කොමිෂන් සභාවට විමර්ශනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කෙසේ නමුත් උපාලි අබේරත්න කොමිෂම, අනුර දිසානායක මහත්තයාට විරුද්ධව ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනෑ කියලා නිර්දේශයක් ලබාදුන්නා. ඊට අමතරව අපරාධ නඩු පවරන්න ඕනෑ කියලත් නිර්දේශයක් ලබාදුන්නා. මේ නිර්දේශය ලබාදෙන්නට පෙර ඉහත කියන ලද නෛතික තත්වයන්වල අනුර දිසානායක මහත්තයාට විරුද්ධව තිබෙන මේ නඩුව ගෙනියන්න බැරි ගැටලුව, අපි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා. අභියාචනාධිකරණයේ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇවිත් පොරොන්දුවක් දුන්නා ඔහුට විරුද්ධව නඩුව ඉදිරියට ගෙනියන්නේ නැහැ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව අවසන් වන තෙක් කියලා.

කෙසේ නමුත් ඒ නඩුව එසේ තිබියදී ඔහුට විරුද්ධව තීන්දුවක් ලබාදුන්නා. ඒකට විරුද්ධව තමයි අභියාචනාධිකරණයට අනුර දිසානායක මහතා රීට් අයදුම්පතක් ඉදිරිපත් කළේ. මේ රීට් අයදුම්පත අනුව අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, මේ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දී තිබූ බලය අතික්‍රමණය කොට ලබාදුන් තීන්දුවක් කියලා. තවත් නඩු විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ වාසියට තීන්දු ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආකාරයේ නඩු 10ක් 11ක් විතර තවමත් විභාග වෙමින් පවතිනවා.

මේ කොමිෂන් සභාවේ හැසිරීම ගැන විශාල විවේචනයක් මුල් කාලයේ සිට තිබුණා. සමහර නඩු අවසන් වුණේ පැමිණිලිකරුගේ සාක්ෂිය මත පමණයි. වගඋත්තරකරුට සිතාසි ඇවිත් තිබුණේ නැහැ. වගඋත්තරකරු මෙම කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව විමර්ශනයක් කරන බව දන්නේවත් නැහැ. කෙසේ හෝ කැකිල්ලේ ස්වභාවයේ කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වුණා. මේ කොමිෂන් සභාවේ වියදම රුපියල් මිලියන 21ක්. මේවා මහජන මුදල්. මේ කොමිෂන් සභාව දී තිබෙන තීරණ පහක් ඔවුන්ට නැති බලයක් ක්‍රියාත්මක කළා කියලා අභියාචනාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් කියන්නේ මේ රටේ අධිකරණ ධූරාවලියේ ඉහළම ධුරයක්. මෙවැනි විනිශ්චයකාරවරයෙක් කියන්නේ පහළ සිට ලොකු ගමනක් ආව පුද්ගලයෙක්. මේ රටේ ජනතාව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් වුවත් සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වෙනවා. මෙම කොමිෂම ඉදිරියේ විභාග වුණු නඩු මොනවාද? තරුණයන් එකොළොස් දෙනෙක් ඝාතනය කළ නඩුව, එක්නැළිගොඩ නඩුව, උදයංග වීරතුංගට විරුද්ධ නඩුව. ඒ නඩුවල විත්තිකරුවන් ඇවිත් මේ කොමිෂම ඉදිරියේ පැමිණිලිකරුවන් විදිහට නඩු ඉදිරිපත් කළේ. සමහර නඩු මහාධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙනවා. මහාධිකරණයේ තිබෙන තරුණයන් එකොළොස් දෙනාගේ නඩුව, ඉවත් කරන්න කියලා මේ කොමිෂන් සභාව නිර්දේශයක් දෙනවා නීතිපතිවරයාට. එක්නැලිගොඩ සම්බන්ධයෙනුත් එහෙමයි. මේ ආකාරයෙන් ඉතාම පක්ෂග්‍රාහී විදිහට සහ විනිශ්චයකාර පරිචයක් නොමැති පුද්ගලයන් සේ මේ තීන්දු තීරණ ලබාදී තිබන බව පැහැදිලියි.

මේ කොමිෂන් සභාව ඇත්තටම පත්කරනු ලැබුවේ කුමන හේතුවකටද යන කාරණය ඉතාම පැහැදිළියි. මේ කොමිෂන් සභාව මගින් විභාගයට ගනු ලැබූ සියලුම දේවල් රාජපක්ෂලාට සම්බන්ධ නඩු. අනෙක් පාර්ශ්වය කැඳවන්නේ නැතිව, සාක්ෂි විභාගයක් නැතිව එහෙම තීන්දු ලබාදෙන කොට මොකක්ද මේ සමාජ දේහයට සිදුවන විනාශය. මුළු මහත් සමාජයම ඉතාම බරපතළ ලෙස අරාජිකත්වයකට පත්වෙනු ලබනවා. මේ තීන්දු ඓතිහාසික තීන්දු වෙනවා. විනිශ්චයකාරවරු වුණත්, විශ්‍රාම ගත්තාට පස්සේ විධායකයට ඕන ඕන විදිහට නටන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය තමයි අභියාචනාධිකරණයෙන් මේ තීන්දුවෙන් ලබාදී තිබෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය දිනෙක මාධ්‍යයට කිව්වා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සම්බන්ධයෙන් ඔහුට දැනුමක් තිබෙනවා කියලා. එක පැත්තකින් මෙය බරපතළ ප්‍රකාශයක්. ඔහු ඒ ප්‍රකාශයේදී කියනවා “මට මේක ප්‍රසිද්ධියේ කියන්නත් බැහැ. මම මේක රහසිගතව විනිශ්චයකාරවරුන්ට කියන්නම්” කියලා. ඔහු හිටපු සේනාධිනාකයා. ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා. ඒ වගේම මේ රටේ සිටි ප්‍රධාන පුරවැසියා. නැවත දෙවැනි ප්‍රකාශයක් කරනවා, “මට මේක සති තුනකට විතර කලින් කෙනෙක් කිව්වා” කියලා. පළමු ප්‍රකාශයේ ඇති බරපතළකම වැටහුණාට පසුවදෝ දෙවැනි ප්‍රකාශයට යන්නේ. මේ රටේ අපරාධ විමර්ශන ආයතනවලට විශාල වගකීමක් පැවරිලා තිබෙනවා, ඔහු මේ කිව්වේ මොකක්ද කියා සොයා බලන්න. ඒ වගේම නීතිපතිවරයාටත් වගකීමක් තිබෙනවා පොලීසියට අවශ්‍ය උපදෙස් සහ අදාළ නියෝග නිකුත් කරන්න. රටේ සිටි ප්‍රධාන පුරවැසියා ලෙස ඔහුට වගකීමක් තිබෙනවා මේ මේ අය සම්බන්ධයි කියා කියන්න. ඔහු ඒක කියන්න බැඳී සිටිනවා. අපේ රටේ නීතිය ගත්තාට පස්සේ සාක්ෂි සැඟවීම හෝ අපරාධකරුවන් සැඟවීම අපරාධ වරදක්.

මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ. එහි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් බව. ඔහුගේ ප්‍රකාශය මත විමර්ශනයක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට රහසිගතව ප්‍රකාශයක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ 127වැනි වගන්තිය අනුව පුළුවන්කම තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට යොමු කරලා, එතැන් සිට විමර්ශනය ආරම්භ කරන්න පුළුවන්. මේ කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් විමර්ශනයක් අනිවාර්යයෙන් ආරම්භ කළ යුතු වෙනවා. හිටපු ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා, ඔහු සේනාධිනායකයා, ප්‍රධාන පුරවැසියා, විධායකයේ ප්‍රධානියා, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා මේ සියල්ල තිබියදී මේ සියල්ල වෙනකොට ඔහුට මේ කාරණය සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා.”