නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවයි.

ඊයේ (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ලෙස නම්කර තිබෙන ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙ පැවති ජාතික තරුණ සමුළුව අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ. දියුණු වන තාක්ෂණික ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබා දීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

“මෙම ස්ථානයේ සිටින ඔබ සියලුදෙනා Gen Z පරපුරට අයත් පිරිසයි. ඉදිරියේදී රට භාරගත යුත්තේ ඔබයි. සෑම විටම සඳහන් වෙනවා Gen Z පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. ඒ වගේම ඔවුන් ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා.

ජනතා විමුක්ති පෙරමුණ කියනවා වසර 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ කියලා. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ මේ තරුණ සේවා සභාවේ සිටයි. මේ තරුණ සේවා සභාව 1948 තිබුණේ නැහැ. යෞවන සමාජ හදලා තරුණ සේවා සභාව ඇති කළේ මමයි. ඒ නිසා රට හැදුවේ නැහැ කියන එක පිළිතුරක් නොවෙයි.

නමුත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. දැන් අප සිතිය යුත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහාමද කියලයි. තරුණ පරපුර කියන්නේ අපි 2020 පොහොට්ටුවට ඡන්දය දුන් නමුත් අපේ බලාපොරොත්තු සුන් වුණා කියලයි. තවත් පිරිසක් කියනවා අපි 2015 යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන්නා නමුත් අපේ බලාපෙරොත්තු ඉටු වුණේ නැහැ කියලා. ඒ නිසා අපිට දේශපාලනය එපා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.

මම 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ දි සඳහන් කළා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 03ක් හොයාගත්තේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතික පක්ෂය පරාජය වීමයි. එහෙමනම් මමත් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ඇත්ත කියපු නිසා කවුරුවත් මට ඡන්දය දුන්නේ නැහැ. නමුත් මම දේශපාලනයෙන් ඉවත් වුණේ නැහැ. මේ රට බේරා ගත යුතුව තිබු නිසා රට භාරගත්තා. මම රට භාරගත්තේ ඔබට අනාගතයක් ලබාදීම සඳහා යි. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්ව මේ ගමන යා යුතුයි. මෙයින් ඉවත් වුවහොත් එය අපරාධයක් වෙනවා. මේ තීරණය වන්නේ ඔබේ අනාගතය යි.

අපි අවුරුදු 05ක් ඉදිරිය ගැන හිතනවද, අවුරුදු 25ක් ඉදිරිය දෙස බලා රට හදනවද කියා තීරණය කළයුතුයි. ඇතමුන් කිව්වා 2048 ගැන හිතලා වැඩක් නැහැ කියලා. නමුත් අපි කියන්නේ 2048 ගැන අවධානය යොමු කළ යුතුයි කියලයි. තායිලන්තය, වියට්නාමය වෙළද ආර්ථිකයක් බවට පත් වුණේ අනාගතය ගැන හිතලා. නමුත් අපි ඒ ගැන හිතන්නේ නැත්තේ ඇයි?

ප්‍රශ්නයක් වුණොත් කියනවා අපි මේකට සහනාධාර දෙන්නම් කියලා. නමුත් ප්‍රශ්න විසදීමක් සිදු වන්නේ නැහැ, මෙතෙක් සිදු වුණේ එයයි. ඒ නිසා මේ ඡන්දය වැදගත්. එදා මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. දැන් අප යන මාර්ගයක මොකක්ද කියලා තීරණය කළ යුතුයි.

තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කළ යුතුයි. අපි ඒ සඳහා පහසුකම් සළසාදිය යුතුයි. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මම කියෙව්වා. එහි රැකියා ගැන නිසියාකාරව සඳහන් වී නැහැ. තරුණ තරුණියන්ට සුදුසු රැකියා ඇති කිරීම, රැකියා විරහිත තරුණ තරුණයින්ට තොරතුරු ලබා ගැනීමට බැංකුවක් ඇති කිරීම, රජයේ රැකියා සඳහා බදවා ගැනීමේ තරග විභාග ක්‍රමය ඉදිරියට ගෙන එන බව සහ උසස් පෙළ සමත් අයට වෘත්තිය පුහුණුව දෙන බව එහි සඳහන් කර තිබෙනවා.

ඒ වගේම හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනා මම කියෙව්වා. තරුණ තරුණියන් ගැන එහි සඳහන් වන්නේ වචන 49යි. ඔවුන් තරුණ පරපුර ගැන වචන 50ක්වත් ලියලා නැහැ. මේ අයට ඔබ අනාගතය භාරදිය යුතුද, එසේනම් මෙහි සිටින Gen Z පරපුර තම අනාගතය පිළිබඳ තීරණය කළයුතුයි” යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.