ඉදිරි ජනාධිපතිවරණයේ දී අපරිණත, සංධානවාදී නායකයෙකුට රට භාරදී භයානක ඉරණම්වලට මුහුණ දීමට කටයුතු නොකරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ පෞද්ගලික ගැටළුවක් තමන්ට ඇත්තේ නැති වුවත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී තමන් අවබෝධ වූ සත්‍යය ඉතා භයානක බවයි.

මේ ඇය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

“ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැඛෙනවාද යන්න පිළිබද සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ.

එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළව මුළු රටේම අවධානය යොමු වියයුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිළිබඳ සිද්ධියක් නොවේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම ය. එය බොහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි.

එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳව සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහා ය.

මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟාකර ගතයුතු නැති බවය. එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහා ය.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකණ්ණි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමඟ පෞද්ගලික ගැටළුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය. ඒ බව මා වහා ජනතාවට කිවයුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීමය.

එහෙයින් මෙම ජනාධිපතිවරණයේ දී ඔබ හුදු ප්‍රචාරක රැළිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේක‍ෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ.

එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත. අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලූ දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාක‍ෂි කොතෙකුත් ඇත.

එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී හුදු සංධානවාදී ප්‍රචාරක ක්‍රමවලින් රටත් ජනතාවත් මුලා කරන කිසිවකුට අසුනොවී සමාජ, ආර්ථීක හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔඛෙන් ඉල්ලමි.

තලතා අතුකෝරළ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි”