එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත.

එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට සැලැසුම් කර ඇතැයි හෙළි වේ.

මේ වන විට හෙළි වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස නව සන්ධානගත වීමකට විරුද්ධ වුවහොත්, පසුගිය 2020 මහා මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය පවා මෙවර ලබාගත නොහැකි මට්ටමට ඔහු ඇදදැමීමේ සැලැසුම් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවයි. ඊයේ (26) මහේෂ් සේනානායක සහ වරුණ රාජපක්‍ෂ සජිත් ප්‍රේමදාස සමඟ එක් වූයේ එම සැලැසුමේ ප්‍රබල පියවරක් ලෙස බව හෙළි වී තිබේ.

ඉදිරි මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කරමින්, චන්ද්‍රිකා කුමාරතුංග සහ සජිත් ප්‍රේමදාස පිල සමඟ නායකත්ව මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීම පදනම් කරගෙන නව සන්ධානය පිළිබඳ සාකච්ඡා මේ වන විටත් ඉදිරියට පවත්වාගෙන යමින් සිටින බව වාර්තා වේ.