වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලෙස පත්කෙරුණු නලින් හේවග‍ෙ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“අධ්‍යාපනය වත්මන් රජයේ ප්‍රමුඛ විෂයයක්, අධ්‍යාපන, උසස් අධයාපන, වෘත්තීය අධ්‍යාපන ලෙස සැලකුවාට මේ විෂයයන් තුනම එකට යා යුතු සමස්ත අධ්‍යාපනයේම කොටස් තුනක්. විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය පිලිබඳව අපේ රජය විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේ සම්ප්‍රදායිකව වෘත්තීය අධ්‍යාපනය දෙස බලන්නේ අනිත් දේවල් කරන්න බැරි ඉතුරු වෙන ළමයින්ට යන්න තියන තැනක් ලෙසයි. ඒ ආකල්පය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය විශේෂයෙන් ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක්. පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි.

ජනතාව අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න නම් ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අවශ්‍යයි” යැයි පවසා ඇත.

මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ,

“අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ, ඒ නිසා රජයේ නිලධාරීන්ගේ සේවය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඔබත් ඔබේ සේවාව මේ රජය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ලබා දෙන්න. අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් සහය ලබා දෙනන” යැයි මෙහිදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසා තිබේ.

මෙම අවස්ථාවට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.