ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී තිසකුට්ටිආරච්චි කියන්නේ. ඔහු කියන්නේ ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් තාත්තාගේ පුතා වන සජිත් ප්‍රේමදාසටත්, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහටත් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි.

“මේ වෙනකොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යනවා. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04ක් තමයි තරඟයේ කරට කර ඉන්නේ. දැන් විවිධ කතාබහ සහ මඩ ප්‍රචාර ඒ සියල්ල යනවා. ඒවා තමයි මාධ්‍ය හරහා එලියට එනවා පේන්නේ. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව සම්පූර්ණ කරන්න පුළුන් මේ අපේක්ෂයෝ 04 න් මොන අපේක්ෂයාටද කියලා. ඒ වගේම ආර්ථික වැඩපිළිවෙල කෙසේද හදන්නේ කියන කාරණා තමයි රටේ ජනතාවට වැදගත් වෙන්නේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයක් දරපු නැති නිසා එතුමා කියන දේවල් පිළිගන්නවාද නැද්ද කියන කාරණය විතරයි කතිරයක් ගහලා පෙන්වන්න වෙන්නේ. අනුර කුමාර දිසානායක මහතාගේ ඉතිහාස කතාව බැලුවාම වැඩකරලා පුරුදු නැහැ, කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. ඒ වගේම හදපු වරායට, ගුවන්තොටුපොලට, අධිවේගි මාර්ගයට අවලාද කරනවා. ගම්මානවල විදුලි ප්‍රශ්න විසඳන්න උමා ඹය වගේ ව්‍යාපෘති ගේනකොට උමා ඹයේ හිලක් ගැන කතා කරනවා. ක්‍රියාකාරි රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවය කරන්න දේන්නේ නැතිව වෘත්තිය සමිති හදාගෙන අඩාල කරනවා. අධ්‍යාපනය විනාශ කරනවා. ගුරුවරයාගේ ගරුත්වය විනාශ කරනවා. මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබෙන කතා. ඒ නිසා මම විශ්වාස කරන්නේ රට ගොඩනගන්න පුළුවන් බිමේ පැළ කර හැකි ප්‍රතිපත්තියක්, බිමේ මේ වෙනකොට පැල කරලා පෙන්වපු ප්‍රතිපත්තියක්, චින්තනයක් තිබෙන එකම අපේක්ෂකයයි මේ මැතිවරණය පුරාම ඉන්නේ. ඒ නාමල් රාජපක්ෂ මැතිතුමා පමණයි” බව තිසකුට්ටිආරචි පවසනවා.