අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහාමාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යට වීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවීම සළකා මෙම තීරණය ගත් බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024-12-02 දින වනවිට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති අතර, කුඹුරු අක්කර 86,225ක් පමණ අර්ධ හානියට ලක්ව ඇති බවද එහි සඳහන් වේ.
පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක් හා හානි පූරණය ද, එසේම බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූණු සහ සෝයා බෝංචි යන බෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානි පුරණයක්ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග ඇමති ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බව වැඩිදුරටත් සඳහවේ.