1. පුරාණ අධ්‍යාපනය

ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සෙවිමේදී ක්‍රි.පු. කාලය තෙක් දිවයන ඉතිහාසයක් එය සතුය. එහෙත් අපගේ මාතෘකාවට අදාළව සලකන විට එය ආයතනික අධ්‍යාපනය ගැන පමණක් දළ අදහසක් ඇතිකර ගැනීමට පමණක් ප්‍රමාණවත් වනු ඇත. ගමක අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනුරාධපුර යුගයේ ඇරඹි මහා විහාරය භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පැවතීම මෙහිදී විශේෂත්වයකි. එය විද්‍යාපීඨයක් වශයෙන් ද හඳුන්වා තිබේ. කෙසේ නමුත් බුදු දහම ලංකාවට පැමිණ වසර 200ක් පමණ ගතවනතුරුත් නිශ්චිත ලේඛන ක්‍රමයක් වර්ධනය වී නොතිබූ අතර මුඛ පරම්පරාව ප්‍රධාන මාධ්‍ය විය. ක්‍රි.පු. 103 දී පමණ වට්ටගාමිණී අභය රජුගේ කාලයේ අනුරාධපුර අභයගිරි විහාරය පිහිට වූ අතර එය මහා විහාරය සමඟ ප්‍රතිපාක්‍ෂික වී ක්‍රියාත්මක විය. විනය ආදී ඇතැම් කරුණු මීට හේතු වූ බව කියවේ. සිදු වූ සිදුවීම් දාමය තුළ අද ඉතිරිව ඇත්තේ මහා විහාරය සම්බන්ධ කරුණු පමණි. එය වැඩිපුර මහා විහාර මතය තහවුරු කරන්නකි. ජේතවන විහාරයද අධ්‍යාපන මධස්ථානයක් ලෙස වැදගත් විය. මෙහි ගොඩනැගිලි 520 තිබු බව ඉතිහාස ලේඛන වල කියැවේ. 13 වන සියවසේදී සිංහල ව්‍යාකරණ සංග්‍රහයක් වූ සිදත් සඟරාව ලියවී තිබේ. 14 වැනි සියවසේ පමණ මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීම ද මෙහිදී සිදු වූ වැදගත් සිදුවීමකි. එකල හෙළ අටුවා ග්‍රන්ථ පාලියට නැගූ බුද්ධඝෝෂ තෙරුන් ද මෙහි වැදගත් චරිතයකි. එසේම අභයගිරිය ආශ්‍රිතව වැඩි කලක් ගත කළ පාහියන් භික්‍ෂුව ද එසේම වැදගත් වේ. අටුවා යුගයෙන් පසු ටීකා යුගයක් ද දක්නට ලැබේ. අනුටීකා, නව ටීකා යනුවෙන් ද මේවායේ තවත් විකාශන පවති. 10වන සියවසට අයත් ධම්පිය අටුවා ගැටපදය හා 11 වන සියවසට අයත් ජාතක අටුවා ගැටපදය මේ දක්වාම නො නැසී පවතී.

ක්‍රි.ව. 1236-1270 දක්වා සිටි ii වන පැරකුම්බා රජු සමයේ ලියවුණු විශුද්ධි මාර්ග මහා සන්නස හා වන විනිස සන්නස ද මෙහිදී වැදගත් වේ.
ක්‍රි.ව. 1412-1467 කාලයේ සිටි VI පැරකුම්බා රජු විසින් කරවු පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන විශ්වවිද්‍යාලයක මට්ටමින් පවත්වාගෙන ගිය බව ඒ පිලිබඳ වන ශිලා ලේඛන වලින් තහවුරු කෙරේ. පුස්තකාල, නේවාසිකාගාර හා වැඩිපුර අධ්‍යන පහසුකම්ද මෙහි තිබූ බව තහවුරු වී ඇත. කෑරලගල පද්මාවතී පිරිවෙන, තොටගමුවේ විජයබාහු පිරිවෙන, වීදාගම ඝනානන්ද පිරිවෙන මීට අමතරව පැවැති වැදගත් අධ්‍යාපන කේන්ද්‍රස්ථාන කීපයකි. මේවා ආශ්‍රිතව බෝහෝ සාහිත්‍ය, ආගමික ග්‍රන්ථ ද ලියවුණි. කෙසේ වුවද පෘතුගීසි ආක්‍රමණයත් සමඟ ආසියාතික වැඩවසම් ක්‍රමයට ආවේණික අධ්‍යාපන සම්ප්‍රදායන් බිඳවැටුණි. ඒ අතර පැරණි සමාජ සංස්ථාව තුළ එක් එක් ක්‍ෂේත්‍රයන්ට අදාල ශිල්ප ක්‍රම පැවැති බවත් ඒවා සමඟ අධ්‍යාපනයේ යම් සම්බන්ධයක් අනිවාර්යෙන්ම පැවැති බවත් පිළිගැනීමට සිදුවේ. ඓතිහාසික වාරි කර්මාන්ත තාක්ෂණයත්, ඉංජිනේරු ශිල්ප ක්‍රමත්, චිත්‍ර හා මූර්ති කලාවේත්, ගෘහ නිර්මාණ ශිල්පයන්ගේත්, පාරම්පරික වෛද්‍ය ක්‍රමවෙදයනුත් ඇතුළු ශිල්ප ක්‍රම පිළිබඳ ඉතරි වී ඇති පෞරාණික උරුමයන් ඊට සාක්ෂි දරයි. බටහිර ජාතීන්ගේ ආක්‍රමණත් සමග ඊට ගැලපෙන අධ්‍යාපන රටාවක් ලාංකේය භූමිය තුල තහවුරු කරන ලදී. වත්මන් අධ්‍යාපන ක්‍රියාවලියට මුල් පදනම වැටුනේ ඒ කාලය තුළදීය.

  1. යටත්විජිත සමයේ අධ්‍යාපනය්‍

1505 සිදු වූ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග එතෙක් පැවතෙමින් ආ සමාජ ක්‍රියාවලියේ බරපතළ වෙනස්කම් සිදුවීම ඇරඹුණි. මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසි පාලනය තහවුරු වූ අතර ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ විශාල වුවමනාවක් ඔවුන්ට විය. ඊට අමතරව සූරා කෑමේ යාන්ත්‍රණය අටවා ගැනීමට යම් අධ්‍යාපනයක් සහිත පිරිසක් අවශ්‍ය විය. මේ අරමුණු දෙක සඳහා අධ්‍යාපන අවස්ථා ඇති කිරීමට පෘතුගීසීන් පියවර ගනු ලැබීය.
පෘතුගීසි අධිරාජ්‍යයා විසින් සිය යටත් විජිත සඳහා මිෂනාරිවරුන් යැවීම වැඩ පිළිවෙළක් ලෙසින් ම ක්‍රියාවට නැංවීය. රාජකීය අනුග්‍රහය යටතේ මෙසේ විවිධ නිකායවලට අයත් මිෂනාරිවරුන් යවන ලදී. කෝට්ටේ VII වන බුවනෙකබාහු රජුගේ කාලයේ (1521-1551) ලංකාවේ මිෂනාරි කටයුතු ප්‍රැන්සිස්කන් වරුන්ට පවරන ලදී. 1543 වසරේ ‘ජුවන් ද විලාද කොන්දෙ’ නම් පූජකවරයාගේ නායකත්වයෙන් පළමුවෙනි මිෂනාරි දූත පිරිස ලංකාවට පැමිණියහ.
1602 පමණ ජෙසුයිට් නිකායිකයින් ද, 1605 ඩොමිනිකන්වරු ද, 1606 ඕගස්ටියන්වරුද මෙසේ මිෂනාරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලංකාවට පැමිණියහ. ඔවුන්ට මුදලින් ආධාර ද, ඉඩම් වැනි වරප්‍රසාද ද හිමි විය. ක්‍රමානුකූලව මිෂනාරි විද්‍යාල ද ආරම්භ කෙරිණි. කොළඹ ශාන්ත අන්තෝනි විද්‍යාලය එවැන්නකි. ලංකාවේ රාජ කුමාරවරුන්ට මිෂනාරි අධ්‍යාපනය ලබා දීමට වැඩිපුර ඉදිරිපත් වූයේ ෆ්‍රැන්සිස්කන්වරුන්ය. කුමාරවරුන් ක්‍රිස්තියානි ලබ්ධියට හරවා ගැනීම වඩා වැදගත් සේ ඔවුන් සැලකූ බව පෙනෙන්නට තිබේ. මෙසේ අධ්‍යාපනය ලැබූ කුමාරවරුන් අතර බුවෙනකබාහු රජුගේ මුණුබුරු වූ කෝට්ටේ සිෂසුනට උරුමකම් කී ධර්මපාල කුමරු, මහනුවර කරලියද්දේ බණ්ඩාර රජුගේ මයිලණු වූ යමසිංහ කුමරු ආදීන් ද වූහ.
යමසිංහ රජු සිහසුනට පත්ව කෙටි කලකින් මිය යාම නිසා ඔහුගේ පුත් දොළොස් හැවිරිදි දොන් ජුවන් කුමරුන් සිංහාසනාරූඪ කරන ලදී. නමුත් නොබෝ දිනකින් ම කොනප්පු බණ්ඩාර විසින් ඔහුව සිහසුනෙන් නෙරපන ලදුව කොළඹ ශාන්ත අන්තෝනි විදුහලේ ද පසුව පෘතුගාලයේ ගෝව නගරයේ ද අධ්‍යාපනයට යොමු වී එහිම පදිංචි විය.
මෙකල එක් එක් නිකාය පදනම් කරගනිමින් අවශේෂ ප්‍රදේශ දක්වා පාසල් ව්‍යාප්තියක් ඇති විය. මේවායේ විෂය මාලාවල ප්‍රධාන තැනක් හිමි වූයේ ක්‍රිස්තු ලබ්ධියටය. මෙම පාසල් කොළඹ හා යාපනය ආශ්‍රිතව වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබුණි. විශේෂයක් වශයෙන් මොවුන්ගේ අධ්‍යාපන විෂය මාලාවල නාට්‍ය කලාව ඇතුළත් වීම සඳහන් කළ යුත්තකි.

  1. ලන්දේසීන්ගේ ආගමනය

පෘතුගීසි පාලනයෙන් පසු ලන්දේසීහු මුහුදුබඩ ප්‍රදේශ තම පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව කොළඹ, යාපා පටුන හා ගාල්ල යන උප පරිපාලන ඒකක 3 ක් පවත්වාගෙන ගියහ. මොවුන්ට පැවති ප්‍රධාන වුවමනාවක් වූයේ රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය වැඩිපුර ප්‍රචාරය කිරීමයි. ප්‍රෙඩිකැන්ටන් පූජකයින් ඉහළ වැටුප් හා දීමනා ගෙවා ගුරුවරුන් ලෙස මේ සඳහා යොදවන ලදී. දේවස්ථාන නමින් ම පාසල් ද ආරම්භ කරන ලදී.
1650 පමණ වන විට පාසල් ජාලයක් ව්‍යාප්ත විය. පැරිෂ් පාසල් නම් වූ මේවා අවුරුද්ද මුළුල්ලේම පවත්වන ලදී. නියමිත වාර හෝ දිගු නිවාඩු කාල නොතිබුණි. නිවාඩු දින වූයේ නත්තල් දිනය, අලුත් අවුරුදු දිනය, ස්වර්ගාරෝහණ දිනය, යාඥා කිරීමේ හා ස්තූති කිරීමේ දිනය ලෙස විශේෂයෙන් වෙන් කෙරුණු දින පමණකි. ඉරිදා හැර අන් හැම දිනයක් ම පාසල් දිනයක් විය. බදාදා හා සෙනසුරාදා අර්ධ නිවාඩු දින විය. පෙරවරුවේ 8 සිට 11 දක්වා ද පස්වරුවේ 2 සිට 5 දක්වා ද පාසල් පැවැත්වුණි.
1663 දෙසැම්බරයේදී පාසල් පරිපාලන මූලස්ථානය වශයෙන් ‘ශෝලාර්හාලෆර්හාදරී’ පාසල් මඩුල්ල නම් ආයතනය පිහිටුවනු ලැබීය. ආණ්ඩුකාරයා විසින් එහි සාමාජිකයින් පත් කරන ලදී. පාසල් අධීක්‍ෂණය පරීක්‍ෂාව හා පාලනය මේ හරහා සිදු විය. ස්කොලාර්කන් (පරීක්‍ෂකයා) නමින් හැඳින්වුණු ගිහි සාමාජිකයින් සිය පරීක්‍ෂණ වාර්තා පාසල් මඬුල්ල වෙත ඉදිරිපත් කරනු ලැබීය. යුරෝපීය ළමුන් සඳහා ලන්දේසි පාඨශාලා නමින් පාසල් පැවති අතර ඒවායේ කියවීම, ලිවීම, අංක ගණිතය, අක්‍ෂර වින්‍යාසය, භූගෝල විද්‍යාව හා ගායනය ආදී විෂයයන් උගන්වන ලදී.
1787 වන විට පෞද්ගලික පාසල් ලෙස, කොළඹ 4 ක්ද ගාල්ලේ 2 ක්ද මාතර 2 ක්ද ආදී වශයෙන් ඇරඹී තිබුණි. ලන්දේසි වෙළඳ සමාගම්වල සේවය කළ වහල් ජනයා ද, ලන්දේසි නිවාස වල සේවය කළ වහල් ජනයා ද සඳහා අධ්‍යාපනය දීමට කොළඹ ආයතනයක් පැවති බව සඳහන් වේ. 1681 වහල් ජනයා දෙසීයක් පමණ මෙහි ඉගෙන ගැනීම් කටයුතුවල නිරත වූ බවත්, විශේෂයෙන් ලන්දේසි බස ඉගැන්වීම මෙහි මූලික අරමුණ වූ බවත් පෙනෙන්නට තිබේ. මෙම කාලයේ සෙමනේරි ආරම්භ කිරීම ද වැදගත් කරුණකි.
පළමු සෙමනේරිය 1690 දී යාපනය නල්ලූර්හි ශිෂ්‍යයන් 24 කින් ආරම්භ කරන ලදී. එහි අරමුණ වූයේ පූජකයන් ද, කතියේරුවන් ද, ලිපිකරුවන් ද, භාෂා පරිවර්තකයන් ද යන ක්‍ෂේත්‍රවල ගුරුවරුන් ලෙස පිරිස් පුහුණුකිරීම විය. ඉන් පසුව 1690 දීම අගෝස්තු මාසයේ කොළඹ සෙමනේරිය ද පසුව ගාල්ල හා මාතර සෙමනේරි ද පිහිටුවීමට පියවර ගැනුණි.

සේමනේරිවල කටයුතු නිසි ආකාරව සිදු නොවීම නිසා ගුරුවරුන් පුහුණු කරන විධිමත් ආයතනයක අවශ්‍යතාවය මතු විය. 1747 කොළඹ පිටකොටුවේ පැරණි පාසල් ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කර නෝමන් පාසල හෙවත් ගුරු විද්‍යාලය ආරම්භ කළේ මේ අනුවය. මේවා මෙසේ ආරම්භ වුවද හොඳින් නඩත්තු නො වූ නිසා විවිධාකාරයේ ගැටලු පැවතුණි.

1737 දී ලන්දේසි මුද්‍රණාලය කොළඹ පිහිටුවීමෙන් පසුව ආධ්‍යාපනික පොත් මුද්‍රණය කිරීමත් සමඟ ම අධ්‍යාපනය අරබයා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ලදී. පාසල් අධ්‍යාපනයට ද එවැනි පොත් පත් යොදා ගන්නා ලදී. ලන්දේසි පාලන සමයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පැවති වැදගත් කරුණු මේවාය.

Socialist Students’ Union – Sri Lanka