පසුගිය 22 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වූ මතගැටුමක් ඉක්මවා ගිය ගැටුමක් නිසා එම සැලැසුම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ දිනට පසු දින එම සැලසුම බිඳ වැටීම විශේෂත්වයකි. වාර්තා වන අන්දමට ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරන්ත මූලික වී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කර තිබී ඇත.

එහෙත්, එහි අන්තර් ගත කර පවතින්නේ රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙල බවත්, හර්ෂ සහ එරාන් දෙදෙනා සමගි ජන බල සන්ධානය තුළ සිටිමින් රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් ඇති කර ගෙන ක්‍රියා කරන බවටත් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ආවේගයෙන් යුතුව චෝදනා කර තිබේ.

එයින් නොනැවතී, මන්ත්‍රී මරික්කාර් හර්ෂ ද සිල්වාට පහර දීමට ගොස් ඇති බව ද ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර ඇත. ඔහු මේ වනවිට හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද දැඩි ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.