මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය තවත් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැකයක් මතුවන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් අබේවික්‍රම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් අබේවික්‍රම,

“හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන පසුගිය මාර්තු 22 මහනුවරදී ප්‍රකාශයක් කළා, 2019 අප්‍රේල් මාසයේ කිතුනු බැතිමතුන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ මොහොතේ පවතින මැතිවරණ තත්වයන් තුළ, පාලනයට කෑදර, බලකාමී දේශපාලනඥයන්ගේ යම් දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කිව නොහැකියි. ජාතික ජන බලවේගය හැටියට අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාව කම්පනයට පත්කළ සිදුවීම පිළිබඳව නැවතත් ජනතාව ආන්දෝලනයට පත්වී සිටිනවා. යුක්තිය පසිඳලන ආයතනයන් වන නීතිපතිතුමාට, අධිකරණ පද්ධතියට, විමර්ශන ආයතනවලට සහ පොලීසිටත් මේ කාරණාව සැහැල්ලුවෙන් සලකන්න හැකියාවක් නැහැ..

දණ්ඩ නීති සංග්‍රහයේ 174 වගන්තිය යටතේ ඉතා පැහැදිලිව කියනවා “යම් රජයේ සේවකයෙක් වශයෙන් රජයේ සේවකයෙකුට දැනුම්දීමට හෝ යම් කරුණක් ගැන තොරතුරු සැපයීමට නීත්‍යානුකූලව බැඳී ඇති තැනැත්තෙකු විසින් නීතියෙන් අවශ්‍ය ආකාරයට හා වේලාවට එබඳු දැනුම්දීමක් හෝ තොරතුරු සැපයීමක් පැහැර හරිනු ලැබුවහොත් ඔහුට දඬුවම් කළ හැකි බව”. එසේම “එම වරද වැළැක්වීමේ කාර්ය සඳහා හෝ වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බාධා වක් වන කාරණාවක් නම් ඔහුට අවුරුදු දෙක දක්වා සිරදඬුවම් දිය හැකි බව” එම දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියේ සඳහන් වෙනවා.

ඒ අනුව අපි විශ්වාස කරනවා මේ මොහොතේ, අපි ඊයේ දිනයේදිත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ගරු නීතිපතිතුමා හමුවෙලා ඔහුගෙන් ඉල්ලීමක් කළේ, නීතිපතිතුමාට මේ තත්වයට මැදිහත් වෙනලෙසට. (“ජනාධිපතිවරයා දන්නා තොරතුරු අධිකරණ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් දැන් කර තිබෙනවා.”) ඒ තත්වය උඩ අපි ඉල්ලීමක් කළා පොලීසියට උපදෙස් දෙන්න, මේ ප්‍රකාශය සටහන් කරලා, වහාම අධිකරණයට කරුණු වාර්තා කරලා, බී වාර්තාවකින් මොහුගේ ප්‍රකාශය විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ප්‍රකාශය ලබාදීමට සලස්වලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු කිරීම සඳහා උපදෙස් ලබාදෙන ලෙස.

විශේෂයෙන් අපි සඳහන් කරන්නේ දේශපාලන ප්‍රයෝජන සඳහා තමන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට මේසා විශාල ඛේදවාචකයක් පාවිච්චි කරන්න මේ රටේ ජනතාව තවදුරටත් ඉඩදිය යුතු නැහැ. අපි යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන ප්‍රජාවක් හැටියට නීතිඥයන් හැටියට මේ ප්‍රශ්නය බරපතළ කාරණාවක් ලෙස දකිනවා. ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මේ තැනැත්තා කියා තිබෙනවා‘ අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ ස්වේච්ඡාවෙන් මේ ප්‍රකාශ කරන්න කැමතියි’ කියා. ඔහුගේ ස්වේච්ඡාභාවය ලෝකයටම පැහැදිලියි. ඔහුට තිබෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් කළාම පොලීසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් දන්නා තොරතුරු, “සති තුනකට පෙර මේ සිද්ධිය කිව්වේ කවුද?” විමසා මේ විදිහට මේ පිළිබඳ ගැඹුරු ලෙස මැදිහත් වෙන්න. මේ කරුණ ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම කියනවා, මේ සිද්ධිය ලඝුකොට සලකන්න දෙන්න එපා. කළ හැකි සියල පීඩනයන් මේ ආයතනවලට එල්ල කළ යුතුයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවටත්, කාදිනල් හිමිපානන් ඇතුළු කතෝලික ජනතාවටත්, මේ රටේ ශිෂ්ඨසම්පන්න සියලු පුරවැසියන්ටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්වය දැනගන්න ඕනෑ. මේ අපරාධයට සම්බන්ධ තැනැත්තන් මේ සිද්ධිය අවුරුදු පහක කාලයක් තොරොම්බල් කර කර යනවා. ශිෂ්ට සමාජයක් මෙය හෙළා දැකිය යුතුයි. අද වෙනතුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසිදු පරීක්ෂණයක් සිදුකර නැහැ. මේ සම්බන්ධයෙන් අවශ්‍යවන මැදිහත්වීම කරන්න සෑම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට ඉතාම ඕනෑකමින් බලා සිටිනවා. මේ සම්බන්ධව ඉතා ළඟින් නිරීක්ෂණය කොට, අවශ්‍ය උපදෙස් ලබාදී, පොලීසිය මෙහෙයවන ලෙසට, අපි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.”