ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ අය වන්නේ මේ රටේ ගුරුවරුන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ ලෙසම 76 වසරක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් විසින් බවයි ඔහු කියන්නේ.

“දේශපාලන විචාරකයෝ පහුගිය කාලයේ ලියලා තිබුණා, ගෝඨාභයගේ පාලනයට එරෙහිව ගුරුවර, ගුරුවරියෝ, විදුහල්පතිවරු ආරම්භ සටන කළ බව. ඒ වාගේ ම අපට විශ්වාසයි අවුරුදු හැත්තෑහයක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් කියන එක. මේ රටේ පැවති දැවැන්තම ගුරු සමුළුවට පැමිණි ගුරුවර ගුරුවරියන් මේ රටේ දේශපාලනඥයන් ගොඩක් දෙනකුව බය කළා.

ඉස්සෙල්ලාම බය වුණේ සජිත් ප්‍රේමදාස. ඊළඟට රනිල්ලාව බය කළා. ප්‍රතිගාමී බලවේග ඔක්කොම සමුළුව දැකලා බය වුණා. ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී බලවේග සියල්ල ගුරු සමුළුව දැකලා, අහලා. කියවලා සතුටට පත් වෙනවා.

දැවැන්ත ගුරු සමුළුව විසින් සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතික කළා. මෙපමණ කලක් ජයග්‍රහණය නොකළ ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිතයන්ගේ ජයග්‍රහණය තහවුරු කළේ ගුරු සමුළුවෙන් බව සහතිකයි.

ගුරු වැටුප් සහ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි අරගල ගොඩක් කළා. මැතිවරණය නමැති සටන් භූමියට මීට කලින් අපට ඊනියා ප්‍රභූවරුන් එන්න දුන්නේ නැහැ. සමහර වාමාංශික බලවේගවලට පොඩි පොඩි දේවල් දීලා මෙල්ල කර ගත්තා. මෙල්ල කර ගන්න බැරි වුණු නායකයන් ඝාතනය කළා. ලංකාවේ පළමුවැනි වතාවට මැතිවරණ සටන් භූමියට පීඩිත සහ ප්‍රගතිශීලී බලවේග එක්ක ‘මාලිමාව’ ඇතුළු වී ඒ සටන් භූමියේ කොඩිය ඔසොවා ජයකෙහෙළි නංවමින් ඉන්න වෙලාවකයි, මේ ගුරු සමුළුව පවත්වන්නේ. දැන් ඉතින් මැතිවරණ සටන් භූමිය වෙනුවෙන් තමන්ගේ ගමේ තිබෙන සංවිධානවලට සම්බන්ධ වී ඡන්ද පෙට්ටියේ තුනෙන් දෙකක් මාලිමාවෙන් පුරවන්න. ඒ ඡන්ද භූමියේදී ඉදිරියෙන්ම ජයග්‍රහණය කර ‘පුනරුද යුගයට’ අත්තිවාරම සලසා දෙන්න” යි කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරනවා.