පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මහා මැතිවරණය සඳහා ගළපමින්, ඉදිරිපත් කරනු ලබන ඇතැම් තර්ක අනුව සජිත් ප්‍රේමදාස මංමුළා වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ සමීපතමයන් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ජාතික ජන බලවේගයට ආසන 105ක් ලැබෙන්නේ යැයි ද, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන සන්ධානයට ආසන 78ක් ලබාගත හැකි බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව පසුගිය මහා මැතිවරණයේ දී ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවට වඩා වැඩි ධුර සංඛ්‍යාවක් ලබාගත හැකි බවට ඉදිරිපත් කර ඇති තර්කය සජිත් ප්‍රේමදාස මුළුමනින්ම පිළිගනිමින්, කටයුතු කිරීමට පටන්ගෙන තිබේ.

මේ අතර, සජිත් පිලේ සිටි ප්‍රබලයකු එම සංඛ්‍යාව එසේ නොවන බව පෙන්වා දී ඇත. 2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙත ඡන්ද ලක්‍ෂ 55ක් ලැබුණු අතර, එය ඡන්ද 27 ලක්‍ෂය දක්වා මහා මැතිවරණයේ දී බිඳවැටුණු ආකාරය පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණයෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය මෙන් සියයට 50ටත් වඩා අඩු ප්‍රමාණයක් මහා මැතිවරණයේ දී ලැබුණු බවත්, එම යථාර්ථය අමතක නොකර මහා මැතිවරණය සඳහා ඉදිරි සැලැසුම් සකස් කිරීම මුළාවක් වනු ඇති බව පෙන්වා දී තිබේ. නමුත්, සජිත් ප්‍රේමදාස එය ගණන් නොගැනීම නිසා අදාළ ප්‍රබලයා නිහඬ වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.