පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියත් එහි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හා විපක්ෂය අතර නොපවතින බවත් එම සටන සිදුවන්නේ විපක්ෂය හා විපක්ෂය අතර බවත් ඔහු කියනවා. මාලිමාවේ වෙස් මුහුණ ගලවා දැමීමට මෙවර ජනාධිපතිවරණයේ දී කටයුතු කළයුතු බව චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
“2019 කූට නාටකයක් රඟදැක්වූවා, ජනමාධ්‍ය වල සෙල්ලමක් ගෙනිච්චා රටේ ජාතික ආරක්ෂාව අනතුරේ, රටට උගත්තු වියත්තු ඕනේ, රටේ හැමතැනකම බෝම්බ බිය මුස්ලිම් ජනතාවගේ බිය මතු කරලා ඒ නාටකය හරහා ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. මේ රටේ හෙළ වෙදකමට නිගා දෙමින් ධම්මික පැණියක් ගෙනල්ලා කොවිඩ් වලින් තිස්දාහක් ඝාතනය කරන්න කටයුතු කළා. හෙළ ගොවිතැනට නිගා දෙමින්, අකාබනික දේවල් දාන්න එපා කියලා, අපේ කුඹුරු ගොවිතැනට, තේ වගාවට, රබර් වගාවට සම්පූර්ණයෙන් විනාශය කැන්දෙව්වා. වේල් තුන කාපු මිනිස්සු, රොටියයි, ලුණු මිරිසයි කන තැනට මහින්ද මහත්තයා පත් කළා නේද? ඒ වගේම ඔබට මතකයි මහා කයිවාරු ගහලා තෙල් සංස්ථාව අතට අරගෙන කයිවාරු කුක්කෙක් මේ රටේ තෙල් පෝලිම් හදලා තෙල් පෝලිමේ මිනිස්සු මිය යන තැනට පත්කළා. පැය දාහතරක් විදුලිය කැපුවා. එදා තිස්ස විතාරණ මහත්තයත් එක්ක තුන් කෝරළේ සෑම ගමකටම ‘විදුලමු ලංකා’ වැඩපිළිවෙළ යටතේ අපි තමයි එදා විදුලිය ලබා දුන්නේ.
අපිට පුළුවන් හොඳ දඬුවමක් මහින්ද මහත්තයාට දෙන්න. ඒ කොහොමද? විසි එක් වෙනිදට නාමල් පුතාව බින්දුවට බස්සලා, මහින්දට අපි දඬුවම දෙමු මිත්‍රවරුනි. අන්න එහෙමයි මහින්ද මහත්තයෝ 1931 න් ඇතිවෙච්ච ඕගොල්ලන්ගේ පවුලේ දේශපාලනය මේ සැප්තැම්බර් 21 වෙනිදා අතුගාලා දාන්නේ. ඒ විතරක් නෙවෙයි පට්ටපල් බොරු කියලා ලී ක්වාන් යූ කියලා, ගිරිය පුප්පගෙන කෑගහලා, මහතීර් මොහොමඩ්ලා කියලා, දුටුගැමුණුගේ නැවත උපතක් කියලා මේ රටේ සිංහලයෝ බෞද්ධ ජනතාව රවට්ටලා, ගිය කට හැකරයෝ තුන් හතර දෙනෙක් හිටියා නේද; අන්න ඔවුන්වත් බිංදුවට බස්සන්න මේ 21 වෙනිදා ඔබට රත්තරන් අවස්ථාවක් තියෙනවා” යි සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරනවා.