ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අතරින් මාර්තු මස 06 වෙනි දින රටවල් 06ක තානාපතිවරු එකවර පැමිණ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රමුඛ නායකයින් හමුවීම සුවිශේෂී වේ. ඉන්දුනීසියාව. තුර්කිය, මැලේසියාව, පලස්තීනය, බංගලාදේශය සහ මාලදිවයින් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරු ඒ අතර වෙති.

ඊට අමතරව මාර්තු මස 08 වෙනි දින ශ්‍රී ලංකාවේ සිටින කියුබානු තානාපති සහ එම තානාපති කාර්යාලයේ පළමු ලේකම් යන දෙදෙනා ජාතික ජන බලවේගයේ නායකයින් හමු වූහ. මාර්තු මස 13 වෙනි දින ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහ කොමසාරිස් සහ එම කාර්යාලයේ දෙවැනි ලේකම්ද මාර්තු මස 19 වෙනි දින ශ්‍රි ලංකාවේ සිටින ජපාන තානාපති සහ නියෝජ්‍ය ප්‍රධානි මෙන්ම දෙවෙනි ලේකම්ද යන රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙසේ පැමිණි අය අතර වෙති.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව කොමියුනිස්ට් රටවල් සමග පමණක් සම්බන්ධතා පවත්වන්නේ යැයිද ජාත්‍යන්තර සබඳතා නැතැයිද ආදි වශයෙන් ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් සහ ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රචාරය කළද මාසයක් තුළ ලෝකයේ කලාප ගණනාවක රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණ එම පක්ෂයේ නායකයින් හමුවීම විශේෂත්වයකි. පසුගිය දෙසැම්බර් මාසයේ සිට, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමයේ තානාපතිවරුන්ද ජාතික ජන බලවේගයේ නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.