වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත්වීමෙන් පසුව මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරාත්මක සටහනක් බීබීසී සිංහල වෙබ් අඩවිය තබා ඇති අතර එය උපුටා ගෙන පහත දැක්වේ.

සහල් අර්බුදය: ජනපති ඇතුළු රජය මැදිහත්ව මෙතෙක් ගත් පියවර මොනවාද?

වත්මන් රජය පත්වු පසුව මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම අභියෝගයක් වුයේ රටේ ඇති වූ සහල් හිඟයයි.

එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයට පෙර මෙම අර්බුදය සමනය කිරිමට රජයට සිදුව ඇති අතර, ඒ සඳහා රජය නොවැම්බර් මාසයේ සිට ම විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

රටේ ඇතිව තිබෙන සහල් හිඟය මෙන් ම මිල ඉහළ යාම පාලනයට රජය මෙතෙක් ගෙන ඇති මෙම පියවරයන් ගැන ඔබ දැනුවත් ද?

‘රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘත්‍රිම හාල් හිඟයක්’

රටේ පවතින සහල් අර්බුදය විසඳීමට මැදිහත් වීමක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක් ඔක්තෝබර් 22 වන දා පැවැත්විණි.

සහල් මිල පාලනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිල දී ගැනීමට මෙන්ම සහ සාධාරණ මිලකට පාරිභෝගිකයන් හට සහල් ලබා දීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

සහල් ව්‍යාපාරිකයින් හමුවූ දිනට පසු දා ත්‍රිකුණාමලයේ පැවති ජනහමුවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, රටේ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවයි.

“රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘත්‍රිම හාල් හිඟයක්. අපි ඒ අයට දැනුම් දුන්නා, මෝල් හිමියන් අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනවා ද? අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩ කිරීම. හැබැයි කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්තියි කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලියි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ”

දත්ත වාර්තාවක් සෑදීමට ජනපති උපදෙස්

සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත, පාරිභෝගික සේවා අධිකාරිය විසින් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරික්ෂාවක් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ කරන ලදී.

එම දත්ත සහිත වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එන්.පී.එන්.එම් වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණි.

නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි

හාල් ආනයනය නොකර බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු ද උල්ලංඝණය කරමින්, සහල් ආනයනය කිරිමට තීරණය කරන ලැබුවේ ද අර්බුදයට එක් විසඳුමක් ලෙසයි.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ය.

“මේ සහල් හිඟය ඇති කිරිම පිටුපස තියෙන්නේ මිල ඉහළ යැවීම හරහා අමතර ලාභ ඉපයීමේ උපාය සහ උපක්‍රම නම්, තවදුරටත් පාරිභෝගිකයා පීඩාවට පත් කිරීම සඳහා එවැනි උපක්‍රම යෙදවීමට ඉඩ දීලා රජයට බලාගෙන ඉන්න බැහැ,” යනුවෙන් සහල් ආනයනය කිරීමට ගත් තීරණය දැනුම් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

සතොස සහ ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මෙරටට ස්වර්ණ නාඩු සහල් මෙසේ ආනයනය කිරිමට රජය තීරණය කර තිබේ.

පළමු තොගය මේ සතියේ වෙළඳපොළට

සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ ය.

එම තීරණය අනුව මේ වසරේ දෙසැම්බර් 20 වැනි දා දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනිමෙන් තොරව මෙරටට සහල් ගෙන්වීමට රජය විසින් අවසර ලබා දුන්නේ ය.

එසේ සීමා ලිහිල් කිරිමෙන් පසුව ආනයනය කරනු ලබන සහල්වල පළමු තොගය මේ සතිය වන විට වෙළඳපොළට ලැබෙනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

“සමහර තූත්තුකුඩියේ ඉඳලා හාල් පටවපු නැව් ලංකාවට ඇවිල්ලා කියලා කතාවක් තියෙනවා. කස්ටම් එකෙන් ක්ලියර් කරපුවාම මේ සතිය ඇතුළත ඒ ටික එනවා වෙළඳපොළට.”

ජනපති මැදිහත් වෙයි

සහල් අර්බුදයට විසඳුම් ලබා දීමට නැවත වරක් මැදිහත් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දුන්නේ ය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසැම්බර් 07 වැනි දා පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත.

ඉදිරි දින දහය තුළ ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.

“කිසිඳු ව්‍යාපාරයක් වට්ටන්න හරි, කිසිඳු ව්‍යාපාරයක් අඩ පණ කරන්න හරි අපේ අදහසක් නැහැ. මම හිතන්නේ තොග මිල 225යි, සිල්ලර මිල 230 යි. හොඳට මතක තියාගන්න ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන් එක්ක නෙමෙයි. ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන්ට විරුද්ධව. අපට ජනතාවගෙන් අවශ්‍ය නම් ජනතාවගේ අනුමැතිය සහිතව මීළඟ පියවරට යන්න පුළුවන්. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් හැම මෝලකටම දානවා හෙට ඉඳන්. මෝලෙන් එළියට යන හාල් ප්‍රමාණය පාරිභෝගික නිලධාරින්ට වාර්තා කරන්න ඕනේ. අපි සතියක්, දින දහයක් බලාගෙන ඉන්නම් මේක ක්‍රියාත්මක වෙනවාද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති නම් ඊළඟ පියවර ගන්නවා.” යි ජනාධිපතිවරයා අනතුරු හැඟවීය.

ජනාධිපතිවරයා නියම කළ තොග සහ සිල්ලර මිල

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.

ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි

සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.

කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

කෙසේ වෙතත් මීට අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා දහවල් වන විටත් නිකුත් කළ බවක් දැනගන්නට නැත.

මෝල්වලින් සහල් නිකුත් කරන්නේ නැද්ද?

නව පාලන මිල යටතේ සහල් අලෙවි කරන බව තොග සහ සිල්ලර එක්සත් වෙළඳ සංගමයේ සභාපති ප්‍රියන්ත ලියනගේ බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

“දැන් ආරංචියේ හැටියට මේගොල්ලෝ කිසි කෙනෙක් හාල් නිකුත් කරන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. මට පේන්නේ තාම කිසිම මෝලකින් නිකුත් කරන්නේ නැහැ අලුත් මිලට.”

දෙසැම්බර් 09 වන දින වන විට මෙතෙක් සහල් මෝල්වලින් සහල් නිකුත් කළ බවක් දැනගන්නට නොමැති බව ඒ පිළිබඳව කරුණු සොයමින් සිටින අතර බීබීසි සිංහල සේවයේ විමසීමට පිළිතුරු දෙමින් ප්‍රියන්ත ලියනගේ පැවසීය.