පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“ජනාධිපතිවරණයේදී ජනතාව ගත්ත නිවැරදි තීරණය සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිමත් ස්ථාවර බලය පාර්ලිමේන්තුවෙන් ලබාදෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජයට පත්කළ පැරණි දේශපාලනයේ සිටි අයට ඒ පරාජය දරා ගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් මාලිමාවට විරුද්ධව නැවත නැවතත් විවිධ අවලාද අපහාස සහ බොරු ප්‍රචාර ගෙනයන්න පටන්ගෙන තිබෙනවා. ඔවුන් ජනතාව නොමග යවන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. ජනාධිපතිවරණයට පෙර සමාජයට බොරු කීම පිළිබඳව තවමත් ඔවුන් සමාව ගත්තේ නැහැ. ඒ පරාජිත කණ්ඩායම් ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමේ කැත අවලස්සන ප්‍රචාර ගෙනගියා. දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එවැනි ආගම් සහ ජාති පටලවා ගත් බොරු ප්‍රචාර ගෙනයාම සමගි ජන බලවේගයේ සහ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවල දිගින් දි්‍රටම ගෙන ගියා. අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කළොත් රට ලේ විලක් වීම පිළිබඳව විශාල ප්‍රචාරයක් ගෙන ගියා. නිවාස ඇතුළු දේපළ ගිනි තබන බවටත් ප්‍රචාරය කළා.

ජනාධිපතිවරණය අවසන් වී සති හයක් ගතවී තිබුණත් අපේ රටේ ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු නොවුණු මැතිවරණයක් ලෙස වාර්තාවක් අපි තබා තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය අනෙකා රිදවීම නොව, අනෙකාව දිනාගැනීමයි. ඔවුන් ජනාධිපතිවරණයට පෙරත් බොරු ප්‍රචාර කළ බව අමතක කර, දැන් තව තව බොරු කියමින් යනවා. ජනතාවට බොරු කියා නොමග යැවීම සමාජ අපරාධයක්. විශේෂයෙන් සමගි ජන බලවේගයේ වේදිකාවලට ගොඩවුණු භික්ෂූන් වහන්සේලා පවා කීවේ අපේ ජයග්‍රහණයක් තුළ පන්සල් විනාශ කර, පෙරහැර කරන්න ඉඩ නොදී කාම්බෝජයේ වගේ තත්වයක් ඇතිකරන බව කීවා. භික්ෂූන් ඝාතනය කරාවි යැයි කීවා. අවසන් පෝය බවත් කීවා. එවැනි භීතියක් හැදුවත් අනුර සහෝදරයා ජනාධිපති වූ පසු සියලුම නිකායන්වල මහා නායක හාමුදුරුවන් වහන්සේලා හමුවීමට ගියා. ඒ වගේම දළදා මාලිගාවට, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගන්නත් ගියා. අපේ අගමැති හරිනි සහෝදරිත් ගියා. ඒ සියලු අවස්ථාවලදී මහා නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා ආශිර්වාද කළා. එහෙම තිබියදී අර බොරු ප්‍රචාර ගෙන ගිය අය නැවත වරක් 14දා ඡන්දය ඉවර වුණු වහාම ඇඳිරි නීතිය දමා පෝයට සිල් ගන්න අවස්ථාව අහිමි කරන බව කියනවා. ආගම් පටලවා ගෙන මෙතරම්ම බොරු කියන අය අතිශය විනාශකාරියි. එවැනි බොරුකාරයන් දේශපාලනිකව පරාජයට පත්කරන්න ඕනෑ. ඒ සමාජ විරෝධී ප්‍රචාර පරාජය කරන්න ඕනෑ.

මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමේදී ඡන්දයට නොවැම්බර් 14දා හැර වෙන දිනයක් යොදාගැනීමේ ගැටලුව ඔවුන් පැහැදිලි කළා. උසස් පෙළ විභාගය යෙදී ඇති බැවින් 14න් පසුව මැතිවරණය පැවැත්වීමට දිනයක් ගත නොහැකි බව කීවා. 14වැනිදා ඡන්දය පැවැත්වූවාම 15 වැනිදා සිල් ගන්න අයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. පෙරහැර පවත්වන්නත් පුළුවන්. ජනාධිපතිවරණයට කලින් කීව බොරුව අතේ පත්තු වී තිබියදී දැන් ආපසු ඒ වර්ගයේම බොරුවක් විලිලැජ්ජා නැති ආකාරයෙන් සමගි ජන බලවේගය ප්‍රචාරය කරනවා. ආගම සම්බන්ධයෙන් මේ කියන බොරුවලට ආගමික නායකයින් විරෝධය පළකළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. බෞද්ධාගමට අමතරව ඉස්ලාම් ආගම සම්බන්ධයෙනුත් මෙවැනිම බොරු ප්‍රචාරය කරනවා. ආගම අදහන්න නිදහස නැතිවෙයි, මුස්ලිම් අයගේ රැවුල කපයි වගේ ඉතාම අසත්‍ය කුමන්ත්‍රණකාරී ප්‍රචාර ගෙන ගියා. අපේ සමහර සහෝදරවරු කළ ප්‍රකාශ කෑලි කපලා සංස්කරණය කරමින් විකෘති අදහස් නැවත නැවතත් සමාජගත කරමින් සිටිනවා. ඔවුන් දන්න එකම දේ බොරු කියන එක විතරයි. ආගමික විශ්වාසයන් මත පදනම්ව ජාතිවාදය මත විපක්ෂය විසින් ජනතාව මත පටවන බොරු අවලාද විශ්වාස කරන්න එපා කියලා සියලුම ජනතාවගෙන් ඉල්ලනවා. ජාති හෝ ආගම් භේද නැති ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා.

මේ ප්‍රචාරයන් උතුරේ ජනතාව අතරටත් ගෙන යනවා. විකෘති කරන ලද වීඩියෝ පට යොදා ගනිමින් ගෙනයන බොරු ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිවී තිබෙනවා. මිනිසුන්ට බොරු කියන මෙවැනි කණ්ඩායම් පරාජය කර, ජාතික සමගිය ගොඩනැගිය හැකි, රට ගොඩනැගිය හැකි ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටිනවා.

පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ නැවත වටයකින් බොරු කියමින් විහිළු සපයමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න කියලා ඔහු කියලා තිබුණා. ව්‍යාවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එයාට කිසිම අයිතියක් නැහැ. ව්‍යවස්ථානුකූලව තිබුණු ඡන්ද කඩාකප්පල් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු, අධිකරණය නියෝග පවා නොතකා හරිමින් වැඩ කරපු රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඒකාධිපතිවාදය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගැන නොවෙයි. පැරදුනාට පස්සෙත් ආණ්ඩුවෙන් කෝකියෝ 16 දෙනෙකු ඉල්ලා සිටියා නම්, ඒ කාලයේ කොහොම පාවිච්චි කරන්න ඇත්ද? රනිල් වික්‍රමසිංහ 1977 සිට ජීවත් වුණේ මහජන මුදල්වලින්. දේශපාලනයෙන් පරාජය කළ පසුවත් මහජන මුදල්වලින් ජීවත් වෙන්න ඉල්ලනවා. ජනතාව රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තීරණය අරගෙන තිබෙනවා, දැන් පරාජය පිළිගෙන පාඩුවේ ජීවත් වෙන්න කියලා අපි මතක් කරනවා.

අපි ගැන විරුද්ධවාදීන් කියපු කතා සියල්ලම ගෙවී ගිය මාස එකහමාර තුළ බොරුවී තිබෙනවා. මහ මැතිවරණයට රාජ්‍ය බලය පාවිච්චි නොකර, මහජනතාවගේ සම්පත් භාවිතා නොකර, ජනතාවට බියෙන් සැකයෙන් තොරව ඡන්දය පාවිච්චි කළ හැකි පසුබිමක් සකස් කර තිබෙනවා.

ජනාධිපති ඇතුළු තුන්දෙනෙක් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් දැන් රට පාලනය කරනවා. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවා බොහෝ කටයුතු සිදුකරන්න තිබෙනවා. ඒ අතර ජනතාවට දිය හැකි සහන ලබාදී අලුත් මාර්ගයක රට ගමන් කරනවා කියන යථාර්ථවාදී හැඟීම අපි තහවුරු කර තිබෙනවා. ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් බොහෝ පිරිසක් මේ වර අපට ඡන්දය ලබාදෙන්න පෙළ ගැසී සිටිනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි බොරු ප්‍රචාර ගෙන යන අයට තවදුරටත් ඉඩනොදී ඔවුන් පරාජය කිරීමට එක්වන ලෙසයි. ඉදිරි දවස් කිහිපය තුළත් තවදුරටත් බොරු කියාවි. ඒ බොරු අවලාද ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: උදය ගම්මන්පිල ඇතුළු අය කියන්නේ ඔබලා බොරු කියමින් බලයට පත්වුණු බවයි. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර: උදය ගම්මන්පිල කියන්නේ බොරුවෙන්ම ජීවත්වෙන කෙනෙක්නේ. අපි කිව්වා කියලා කියන්නෙත් බොරු. ඒගොල්ලොම බොරු කියලා ඒ බොරු අපි කිව්වා කියන එකයි, ඒගොල්ලන්ගේ දේශපාලනය. උදය ගම්මන්පිය මහත්තයාට තිබෙන කුලප්පුව, අසනීපය අපට තේරෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි පැවැත්වූයේ රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර මහත්වරු ඇතුළු කණ්ඩායමක්. ගෝඨාභය බලයට ආ ගමන් ඔවුන්ව ඒ පරීක්ෂණවලින් ඉවත්කර, හිරේත් දැම්මා. ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් හොඳම තොරතුරු දන්නා දෙන්නාට නැවත එම වගකීම් පැවරුවාම උදය ගම්මන්පිලව ඉත්තෙකුට දැම්ම පිටිපස්සේ ඉන්න අය ගැන අපි දන්නවා. උදය ගම්මන්පිල කියන ඔය වාර්තාව පරීක්ෂණ වාර්තාවකුත් නොවෙයි. අධිකරණ වාර්තාවකුත් නොවෙයි. වෙනත් පිළිගත් කොමිසමක වාර්තාවකුත් නොවෙයි. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගෙන් පළිගන්න පත් කළ කමිටුවක වාර්තාවක් ඒක රහස් වාර්තාවකුත් නොවෙයි, එක කවුරුත් පිළිගන්නේ නැහැ. හැමදාම ප්‍රෙස් තිය තියා උදය ගම්මන්පිල ඔය ගැන කියවනවා.

ප්‍රශ්නය: එල් බෝර්ඩ් කට්ටිය පාර්ලිමේන්තුවට යවලා රට ගොඩගන්න බැහැ කියනවා.

පිළිතුර: එල් බෝර්ඩ් නැති කට්ටිය යවලා තමයි මහජන මුදල් හොරකම් කරලා රට විනාශ කළේ. අපේ එන්නේ එල්බෝර්ඩ් අය නොවෙයි. ඒ අය පාර්ලිමේන්තුවේ හිටපු නැති අය වුවත් මහජනතාව එක්ව දීර්ඝ කාලයක් දේශපාලනය කළ අයයි. සමහර අය පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවල සිටි අයයි. තව පිරිසක් බිම් මට්ටමෙන් ජනතාව එක්ක වැඩ කළ අය. ඒ ගොල්ලෝ පළපුරුද්ද කියන්නේ මහජන මුදල් නාස්ති කිරීම, හොරකම් කිරීම වගේ දේවල්වලට විතරයි. ඒ වගේම ඒ කියන හැමෝම පාර්ලිමේන්තුවට එනකොට නවකයන් තමයි. ඉගෙන ගන්නේ ඊට පස්සේ. කලින් තිබුණු අමාත්‍යාංශ 28ක් 15කට අකුළලා අපේ තුන්දෙනෙක් පවත්වාගෙන යනවා. ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, සහ රාජ්‍ය ඇමතිවරු 60දෙනෙක් විතර කරගෙන ගිය කටයුතු අපේ තුන්දෙනා කරගෙන යනවා. මාලිමාවට කියන්න දෙයක් නැති වුණාම කියන කතා තමයි ඔය. නමුත් ජනතාව ඔය කතාව ප්‍රතික්ෂේප කරනවා. ශක්තිමත් බහුතර පාර්ලිමේන්තු බලයක් අපට ලබාදෙන්න පෙළ ගැසී සිටිනවා.

ප්‍රශ්නය: සහල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක්ද?
පිළිතුර : මේ වන විටත් මහා පරිමණ මෝල් හිමියන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. සැලැස්මක් නැතිව පවත්වාගෙන ගිය ක්ෂේත්‍රයක කාලාන්තරයක් තිබුණු ප්‍රශ්නයක් මේක. ආණ්ඩුව මිලදී ගැනීම නතර කිරීම නිසා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු ගොවියාගෙන් අඩු මිලට වී මිලදී ගත්තා. ඒ අර්බුදය විසඳන්න විද්‍යාත්මක නිවැරදි සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන්න අපි පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නය ඇති කළ පසු වී වගේම පොල් අස්වැන්න අඩුවී හිඟයක් ඇති වී මිල ඉහළ යාමේ ප්‍රශ්නයක් තිබෙනවා. 1977 ඉඳලා සිදුකළේ අපේ රටේ තිබුණු සශ්‍රීක පොල් ඉඩම් කට්ටිකර විකිණීමයි. ඊළඟට පොල් පොහොර මිල විශාල වශයෙන් වැඩි කළා. පොහොර යෙදිය නොහැකි නිසා, පොල් අස්වැන්න අඩු වුණා. ඒ වගේම ප්‍රමාණවත් තරම් අලුතින් පොල් වගා කළේ නැහැ. ඒ වගේම දැන් රිලව් ඇතුළු සතුන්ගෙන් තිබෙන ප්‍රශ්නයත් ලොකුම ප්‍රශ්නයක් මේ වැනි ගැටලුවලට විද්‍යාත්මක දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. අපි ආණ්ඩුවක් ගොඩනංවලා මේ ප්‍රශ්න වෙනුවෙන් ඵලදායී ස්ථිර විසඳුම් ලබා දෙනවා.