සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට වසර 3ක සිර දඬුවම් ලබාදීමත් සමඟ කරුණු කිහිපයක් මුල් කර ගනිමින් සජිත් ප්‍රේමදාස පිලේ අභ්‍යන්තර ගැටුම් නවතම වටයකින් ඇවිලී ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වන කරුණුවලින් තහවුරු වේ.

මෙම ගැටුම්වලට මූලික ම හේතුව වී තිබෙන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දැරූ ක්‍රියාකාරී භූමිකාවට ජලනි ප්‍රේමදාසගේ මොරටුව ප්‍රදේශයේ සමීපතම මිතුරියක් පත් කිරීමට සූදානම් කිරීම පදනම් කර ගනිමින් ය. මේ අතර හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සිර දඬුවම් නියම කිරීමත් සමඟ ඇයගේ මව හෝ සැමියා ඇතුළු පවුලේ කිසිවෙකුට සජිත් ප්‍රේමදාස දුරකතන ඇමතුමක් හෝ ලබා දී අස්වසාලීමට ඉදිරිපත් වී නැති බව ද වාර්තා වේ. ඒ වෙනුවට විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරියෙකු වෙත එම කටයුත්ත පවරා ඇති බව හෙළිවේ.

මේ අතර, සජිත් පිලේ මූලික නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සුව දුක් බැලීමට නායක මට්ටමේ පිරිස දිනපතා කාලය වෙන්කර ගනිමින් යා යුතු බව ය. එහෙත් එම අදහසට සජිත් ප්‍රේමදාස නිහඬ ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ. මේ වෙනුවට හිරුනිකාගේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නීතිඥවරුන් පිළිබඳ සොයා බලන ලෙස පමණක් එම පිලේ නායක මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

රංජන් රාමනායක සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකතන සංවාදයකදී සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කර තිබිණි. එම හඬපටය 2019දි ජනාධිපතිවරණට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර 2020 මැතිවරණයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ මනාප කපා හැරීමට සජිත් ප්‍රේමදාස එය යොදා ගත් බවට එවකදී චෝදනා එල්ලවී තිබිණි.