දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා චමින්ද්‍ර දයාන් ලේනව නැමැත්තා පසුගිය තුන්වෙනිදා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් තුනක් ජාතික ජන බලවේගයේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබුණා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් වෙන් වෙන්ව අතරමැදි පෙත්සම් තුනක් ඉදිරිපත් කළා.
සැලසුම් කර තිබූ පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන පෙත්සමට එරෙහිව එම පෙත්සම නිෂ්ප්රභා කරන ලෙස තම පාර්ශවය කළ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ මේ රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරණයේ පළමු ජයග්‍රහණය ලැබූ බව ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
“මේ පාලකයන්ට ඕන වුණා මොන ක්‍රමයකින් හෝ තමන්ගේ නියත පරාජය තව ටික කලක් කල් දාගන්න. ඒ සඳහා කළ උත්සහයක් තමයි ජනාධිපති ධුර කාලය පිළිබඳව අර්ථ නිරුපණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම. අපිටත් අපේ නීතීඥ කණ්ඩායමටත් දැඩි විශ්වාසයක් තිබුණා ඒ කුමන්ත්‍රණය අධිකරණ ක්‍රියාවලියක දී පරාජය කළ හැකි බව. ඒ විශ්වාසය මතයි අපි මේ පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස මැදිහත් වුණේ.
ඒ අතර අපි අපේ හැම ජන හමුවක දී ම පුන පුනා තහවුරු කළා ජනාධිපතිවරණය මේ අවුරුද්දේ පැවැත්වීම පිළිබඳව දෙගිඩියාවක් තියාගන්න එපා කියන එක. ඒ දෙගිඩියාව, අවිනිශ්චිත බව හදන්නේ පාලකයෝ බව අපි කිව්වා.
අපේ ජනාධිපති අපේක්ෂක අනුර සහෝදරයා හැම මොහොතකම ප්‍රසිද්ධියේ කිව්වේ ඡන්දය ස්ථීරවම නියමිත කාලයට තියනවා කියන එක. හැබැයි අපේ නොවන වෙනත් පාර්ශව කියන්න ගත්තා ‘ඔය කිව්වට රනිල් කට්ටයා, එයා නීතිය ගැන දන්නවා, ව්‍යවස්ථාව හැදුවේ එයාගේ මාමා ජේ.ආර්., ඒ නිසා රනිල් මොකක් හරි ගේමක් ගහයි’ කියලා. අපි කිව්වා ඒ ගේම් ගහපු කාලය දැන් ඉවරයි කියලා. ඒ ගේම් වලට ජාතික ජන බලවේගයත් මේ රටේ ජනතාවත් තව දුරටත් ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කිව්වා.
ජනාධිපති ඡන්දයේ පළමු අභියෝගය වුණේ හරියට නියම වෙලාවට ඡන්දය පවත්වා ගැනීම. අපි ඒ පළවෙනි අභියෝගය ජයග්‍රහණය කළා. දැන් මෙතැන් පටන් තියෙන්නේ මේ රටේ ජනතාවත් ජාතික ජන බලවේගයත් නොනවත්වා ලබන ජයග්‍රහණ විතරයි.
තව මාස තුනක් අපි මේ විදිහටම එකා වගේ එකතු වෙලා රජ ගෙදර කුමන්ත්‍රණ පරාජය කරමු. ඊට පස්සේ මේ පාලකයන්ට පරාජය කළ නොහැකි පොදු ජනතාවගේ බලාපොරොත්තු ජයග්‍රහණය කරමු” යි ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කරනවා.