ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම තමන්ට ඇතැයි ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (23) පැවති “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චින,

“පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පත්කර ගත්තේ උතුමාණන්, ශ්‍රීමතාණන්, අතිගරු වැනි වචනවලින් ආමන්ත්‍රණ කරන ජනාධිපති කෙනෙක් නොවෙයි, ජනාධිපති සහෝදරයෙක්. අපේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් රට පාලනය කරනවා. ඒ වාගේම අද ඉන්නේ ජනාධිපති සහෝදරයෙක් පමණක් නොවෙයි, අගමැති සහෝදරියක්. ඒ වාගේම තුන්දෙනෙක් මූලික වී රට පාලනය කරන ආණ්ඩුවක්. මෙයට පෙර සිටි මැති, ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය අප දැක්කා. මේ රට බංකොළොත් තත්වයට පත් කළේ ඔවුන්. නමුත්, මෙවර මහා මැතිවරණයෙන් උගත්, බුද්ධිමත්, අදූෂිත පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට පත් කර යවනවා. වඩා යහපත් පාලනයක් සඳහා වඩා යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවා පොදු ජනතාවගේ අරමුණු ඉටු කර ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට ඉතිහාසය වෙනස් කළ හැකි ප්‍රබල පාර්ලිමේන්තුවක් පත්කර දිය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව යම් අවබෝධයක සිටිනවා.

ගෙවී ගිය අවුරුදු හැත්තෑහයක කාලය තුළ පැවැති සියලු ආණ්ඩු යටතේ මම ජීවත්වී තිබෙනවා. මේ තත්වයට රට පත් කිරීම දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මාගේ ජීවිතයෙන්ම අත්දැක තිබෙනවා. ඒ සියලු තත්වයන් වෙනස් කර ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාලනයක් පිහිටුවන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. වඩා යහපත් ජීවිතයක් අපටත්, අපේ දරු මුණුබුරන්ලාටත් ලබා දීම වෙනුවෙන් රට ගොඩනැඟීමේ මූලික පියවර ගෙවූ කෙටි කාලය තුළ දී ඔප්පු කර තිබෙනවා. රටේ තිබෙන නීතිය පාලකයාටත්, ජනතාවටත් එක සේ ක්‍රියාත්මක කෙරෙනවා. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපැදී, ගෞරවනීය ජීවිතයක් ගත කර ජීවිතය අවසන් කිරීම සඳහා කළ යුතු මූලික කටයුතු වෙනුවෙන් මහා මැතිවරණයේ දී අදාළ ජයග්‍රහණයන් ලබා දෙන්න තව තවත් පෙළගැසෙනා ලෙස ඉල්ලා සිටිනවා.”