රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (02) කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“මෙරට අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජයග්‍රහණයක් ලබාදෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙන්. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් අවස්ථාවේ කන්නන්ගර මැතිතුමා කළ කතාවක් අපගේ අවධානයට නැවත ගත යුතු වෙනවා. ‘ගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසූවා. මිල අධිකව තිබූ අධ්‍යාපනය මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් ලෙස අපට දිස්වූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත්කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූයේ නම් එම ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද’ යි එතුමා විමසා තිබුණා.

එක් සමාජ කණ්ඩායමකට පමණක් විවෘත කර තිබූ රාජ්‍ය අධ්‍යාපනය සියලු දෙනාට විවෘත කිරීම රෝමය කිරිගරුඬින් නිර්මාණය කළා යැයි කීමට වඩා ශ්‍රේෂ්ඨ බව එතුමා දක්වා තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය අවශ්‍ය මහා වෙනස්කම් කිරීමෙන් පමණයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවක ප්‍රකාශ කළේ, සිංගප්පූරුව සතු එකම සම්පත මිනිස් සම්පත බවයි. ඒ මිනිස් සම්පත දියුණු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය තුළින් ඇත කරන මහා වෙනස්කම්වලින් පමණයි. සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41% උපාධිධාරීන්. එරට ශ්‍රම බලකායෙන් 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ. අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟන්න අපි කැපවෙනවාද යන්න මත මේ රට ඉදිරියට යාම තීරණය වෙනවා. 2017 වර්ෂයේ 9,900ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගෙන් 83%ක් ඉගෙනගෙන තිබෙන්නේ සාමාන්‍ය පෙළට අඩුවෙන්. 64%ක් අටේ පංතියට අඩුවෙන්. නූගත්කම අපරාධවලට හුරුවීමේ සහ අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පංතියට පහළ අධ්‍යාපනයක් තිබෙන අය. දුප්පත්භාවයේ රේඛාව සහ නූගත්බවේ රේඛාව එකට ගමන් කරන්නේ. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ පිළිගැනීමයි. අපේ සැලසුම්වල අංක එක හිමිවෙන්නේ අධ්‍යාපනයටයි. අසල්වැසි ඉන්දියාව දැනුම උපයෝගී කර ගන්නා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පංගුව ඩොලර් බිලියන 253ක් කරගෙන තිබෙනවා. අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 72යි. ඉන්දියාව ඩොලර් බිලියන 199ක් උපයා ඇත්තේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ අපනයන ආදායම ලෙසයි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සිංගප්පූරුවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 47යි. දකුණු කොරියාවේ එම කර්මාන්තයේ ඩොලර් බිලියන 233යි. වියට්නාමයේ ඩොලර් බිලියන 137යි. මෙයින් කියැවෙන්නේ අධ්‍යාපනය අපේ රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම බවයි.

ඒ වගේම අපේ රටට අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අලුත් පියවරක් ගන්න නම්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන දක්වා පුළුල් අවකාශයක් සලසනවා. ප්‍රාථමික උපාධියේ සිට තව තල ගණනාවකට ගුණාත්මක උපාධියක් ලබාදීමේ පියවර ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා. එහි විශාලතම කාර්යභාරය පැවරී තිබෙන්නේ ගුරුවර ගුරුවරියන් සම දෙනාටම. ඔබ ඉදිරියට එන සිසු දරුවා සමාජයට වැඩදායී කෙනෙක් බවට පත්කරනවාද, කියන වගකීම තිබෙන්නේ ඔබේ අතේ. මගේ පාසල් අධ්‍යාපනයේ දී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ” යි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.