ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු!
ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!!
එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය අපරාධයක් වූ පාස්කුදින ප්‍රහාරය මෙන් ම වේලාසනින් පිටපත ලියන ලද්දකි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ සිය දෑවුරුදු විධායක ධූරකාලය තුළ මේ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන සොයන්නට කිසිවක් ම කළේ නැත. එහෙත් ඔහු සිය ධූරකාලය අවසන් වන්නට යන බව සහ දේශපාලන බලය තමන් දිවිහිමියෙන් රැකගන්නට හැදූ ඊනියා ප්‍රභූ පෙළැන්තියෙන් ගිලිහෙන්නට යන බව දැනනගත් පසු අලුත් කොමිසම් නාඩගමකට ඇන්දේ ය.
ජයකී අල්විස් කොමිසං නාඩගම
ඒ කොමිසම් නාඩගමේ නම ඒ එන් ජේ ද අල්විස් හෙවත් ජයකි අල්විස් කොමිසමයි.
ඔහු මේ වසර මැදදී මේ කොමිසම පත්කරන්නේ, රවී සෙනෙවිරත්න – ශානී අබේසේකර දෙපළ ජාතික ජනබලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ සටනට සහාය පලකරන බව ප්‍රසිද්ධ වීමත් සමග ය.
ඊනියා කොමිසමේ නිර්දේශය වන්නේ රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර පාස්කුදින ප්‍රහාරයට වගකිවයුතු බව යි.
රවී සහ ශානී යනු අලුත් ආණඩුව යටතේ සිදුවන්නට නියමිත පාස්කුදින ප්‍රහාරයේ, එතෙක් පීලිපන්නවන ලද විමර්ශන ඉදිරියට කරගෙන යාමට නායකත්වය දෙන්නට නියමිත නිලධාරීන් දෙපළ ය.
කවුද මේ ‘ජයකී අල්විස්’?
ගම්මන්පිල නොදන්නවාට ජයකි අල්විස් විනිසුරුවරිය යනු කවුදැයි දන්නෝ දනිති.
සන්ඩේ ලීඩර් සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ නොමග යවන්නට කටයුතු කළ එක් ප්‍රධාන පුද්ගලයෙක් වන්නේ, එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ය. මේ කියන ජයකී අල්විස් යනු ඒ ප්‍රසන්න අල්විස් ගේ සහෝදරිය යි.
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නොමග යවන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් 2015න් පසු යළිත් ලසන්ත ඝාතනය ගැන විමර්ශන අරඹන CID ය ජයකි අල්විස්ගේ සහෝදර ප්‍රසන්න අල්විස්ගෙන් ප්‍රශ්න කරයි.
ඔහු විසින් සිදුකරන ලද පරීක්ෂණ අක්රමිකතාවලට හේතු කියන්නට බැරිවූ ප්‍රසන්න අල්විස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ දෙපාර්තමේන්තු නියෝග නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අල්විස්ට එරෙහිව පියවර ගන්නා ලෙස ය.
එසේම සාක්ෂි වසංකිරීම හා විනාශකිරීම යටතේ ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරිය හැකිද යන්න ගැන සොයාබලන මෙන් සෙනෙවිරත්න නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. එහෙත් ඒ කිසිවක් මෙතෙක් සිදුවූ බවක් දැනගන්නට නැත. (මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ම’විසින් ලියන ලද ලසන්ත ඝාතනයට අදාළ ලිපි පෙළේ අඩංගු ය.)
එහෙත් දැන් ජයකී අල්විස්ට සිය සහෝදරයා වෙනුවෙන් වාඩුව ගන්නට අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ ලබාදී ඇත. ඉතින් ජයකී අල්විස් සිය වාර්තාව ලියන්නේ රවී සෙනෙවිරත්නගෙන් හා ශානි අබේසේකරගෙන් වාඩුව ගන්නට ය.
මෙන්න රටේ සිදුවූ අති දැවැන්ත අපරාධයක් ගැන රනිල් වික්‍රමසිංහගේ කැකිල්ලේ නඩු ඇහිල්ල!
සලේ සුද්දකිරීම
අනෙක් වාර්තාව එස් අයි ඉමාම් කොමිසමේ ය. රනිල් මේ කොමිසම පත්කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තා වැඩසටහනකට සහභාගී වෙමින් පිල්ලෙයාන් ගේ ගෝලයකු වන මුසම්මිල් විසින් සුරේෂ් සලේට එරෙහිව එල්ලකරන ලද බරපතල චෝදනා සමනය කරගනු වස් ය.
වාර්තාවේ අන්තිම නිගමනය වචන කිහිපයකින් කියනවා නම් ‘සුරේශ් සලේ නිදොස් කොට නිදහස්’ ය.
මේ ජනාධිපති කොමිසම් දෙකම එහෙමකට නෛතික බලයක් ඇති කොමිසම් නොවේ. ඒවාට කිසිදු අධිකරණ බලයක් නැත.
මේ නාඩගම, ගම්මන්පිල නම් ජාතිවාදියාගේ මේ කොමිසන් ජාතකයෙන් අවසන් වන්නේත් නැත.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තවත් අලුත් නාඩගමක පිටපත ලියා රංගගත කරයි.
තමන්ගේ අනුප්‍රාප්තික ජනාධිපති කාලසීමාව අවසන් වන්නට යන බව දන්නා රනිල්ට ජනාධිපතිවරණයක් කැදවන්නට සිදුවෙයි. තමන් ඉන් පරදින බව ඔහු දනී. දිනන්නේ ජාතික ජනබලවේගය බව ද ඔහු දනී. (රාජ්‍ය නායකයෙක් මේවා දන්නේ නැත්නම්, Deep State නමින් උත්කර්ෂවත් කර ඇති ඔත්තු සේවා කියා දෙයක් තිබීමෙන් පුරවැසියාට නොව පුරවැසියා තලාපොලා වැජඹෙන පාලකයාට වැඩක් නැත.)
පාලිත සිරිවර්ධන – ඉන්දුක ද සිල්වා පැටිකිරිය
දීර්ඝ නිද්රාවකින්රා හදිසියේ ඇහැරෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන පාලිත සිරිවර්ධන විසින් 2024 ජුනි 24 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ, රවී සෙනෙවිරත්න පාස්කුදින ඛේදවාකයට වගකිවයුත්තකු ලෙස සලකා විමර්ශන සිදුකරන මෙන් ය.
සංදිස්ථානීය දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත ජනාධිපතිවරණයකට ඇත්තේ මාස 4කි. එහි කැපීපෙනෙන තරගකරුවා වූ ජාතික ජනබලවේගයට සහයෝගය පලකිරීමට රවී – ශානී දෙපළ සූදානම් වී සිටියහ. රනිල්ගේ නූල් සූත්තර ක්‍රියාවට අන්න ඒ මොහොතේ නැංවෙයි.
ඒත් තෝරාගත් මනුස්සයා අන්තිම අප්සෙට් ය. පාලිත සිරිවර්ධන යනු කිලිනොච්චියේ රාජකාරි කරමින් සිටි සමයේ නිදන් හෑරූවකු බවට චෝදනා ලැබ රවී සෙනෙවිරත්න යටතේ විමර්ශනයකට මුහුණ දුන්නෙකි.
පාලිත සිරිවර්ධන විසින් ජනාධිපතිවරණය කටේ තිබියදී කරන මේ පැමිණිල්ල විභාග කරන්නේත් අපූරු හාදයෙකි. හේ නමින් ඉන්දුක ද සිල්වා ය. වැඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ය. දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් රවී සෙනෙවිරත්නලා විසින් CID යෙන් නෙරපාහරින ලද්දෙකි.
පාලිත සිරිවර්ධනගේ නිදන් හෑරිල්ලේ කතන්තරය විමර්ශනය කරන්නට යවන්නේ මේ ඉන්දුක ය. ඔහු කියන්නේ ඒ නිදන් හෑරූ බව කියන ඉඩම් පුරාවිද්‍යාවට අයත් බැවින් එතැනින් අවසරයක් එනතුරු විමර්ශන කළ නොහැකි බව යි. ඒත් ඉන්දුක ඉල්ලා ඇතැයි කියන අර පුරාවිද්‍යා වාර්තාව එන්නේත් නැත! වැඩේ හරිහැටි සිදු නොවීම පමණක් නොව ඔහුටත්, ඔහුගේ සමීපතම ඥාතීන්ටත් එරෙහිව ඇති දූෂණ අක්‍රමිකතා නඩුකටයුතු හේතුවෙන් ඔහු සීඅයිඩීයෙන් මාරුකර යවන්නට රවී සෙනෙවිරත්නට සිදුවෙයි. ඉන්දුක ඊට විරුද්ධව මූලික මානව හිමිකම් නඩුවක් දමා ඉන් ද පැරද පළායයි.
ඉන්දුක නැවත සීඅයිඩීයට එන්නේ ගෝඨාගේ අනුග්රහයෙනි. දැන් නිදන් හෑරූ පාලිත සිරිවර්ධන, ඒ ගැන විමර්ශනය කළ රවී සෙනෙවිරත්නට විරුද්ධව කරන පැමිණිල්ල විභාග කරන්නේ එදා සිරිවර්ධනගේ පුරාවස්තු හෑරීමේ විමර්ශන නිසිපරිදි නොකිරීම නිසා දෙපාර්තමේන්තුවෙන් එළවාදැමුණු ඉන්දුක ය.
මරු නඩු ඇහිල්ලක් නොවේද?
සාරා ජස්මින්ගේ තෙවැනි ඩී ඒන් ඒ පරීක්ෂණයට කරගැසූ ඉන්දුක
එපමණක් නොවේ, පාස්කුදින ප්‍රහාරයේ එක් අතිශය තීරණාත්මක ගැටලුවක් වන්නේ සාරා ජස්මින්ට සිදුවුයේ කුමක්ද යන්න යි. දැනට ඇති විශ්වසනීය තොරතුරුවලට අනුව ඇය ඔය කියන ඊනියා බුද්ධි අංශවල ද උදව්වෙන් රටින් පලාගොස් ඇත.
එහෙත් කුමන්ත්රණකාර ඔත්තුසේවා බලවතුන් දිවුරා කියන්නේ ඇය සයින්දමරුදු සිදුවීමේ දී මියගිය බව යි. ඇය එතැන මියගිය බව ඩී එන් ඒ පරීක්ෂණ දෙකකින් ම සනාථ නොවූ තැන, සිදුකරන්නට යෙදුණු තෙවැනි ඩී එන් ඒ පරීක්ෂණය මෙහෙයවූ පුද්ගලයාත් මේ ඉන්දුක ද සිල්වා යි.
ඩීඑන්ඒ දෙකකින් ඔප්පු නොවූ ‘පුදුමාකර සත්‍යය’. සාරා ජස්මින් එතැන මියගියවුන් අතර සිරන බව – ඉන්දුකගේ විශ්මකර්ම පරීක්ෂණයෙන් ඔප්පු වෙයි!
ඉන්දුකට පාස්කුදින ප්‍රහාරයත් සමග ඇත්තේ මොනතරම් දිග දුර යන සම්බන්ධයක්ද? එසේම ඔහුට ඇත්තේ පාලිත සිරිවර්ධනලා සහ රවී සෙනෙවිරත්නලා සමග කොතරම් ඈතට යන කතන්දරද? එපමණක් නොවේ ඔහුගේ සමීපතම ඥාතීන්ට එරෙහිව මත්ද්‍රව්‍ය හා අපරාධ නඩු ගණනාවක් තිබේ. ඔහු දැන් CID එකේ රවීලාට හා ශානිලාට එරෙහිව විමර්ශනවලට පත්ව සිටී.
ඒ විමර්ශන හදිසියේ පටන්ගන්නේ තමන්ගේ නොව තම පෙළැන්තියේ ම පරාජය අබිමුව අන්තිම තුරුම්පුවත් ගසන්නට වලිකන රනිල් ය.
රාජ්‍යයේ දූෂිත ස්වභාවය ගැන තවත් කුමන කතාද?
ම්ලේච්ඡ පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කඩාකප්පල් කරන ලද විමර්ශන නැවත වටයකින් ආරම්භ වීමට අවශ්‍ය පසුබිම දැන් සැකසී තිබේ. එහෙත් එය අප හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. අප මතුපිටින් දකිනා ‘රාජ්‍යය’ට යටින් පවත්නා, ඉතාම ම්ලේච්ඡ, ඉතාම දූෂිත, ඉතාම බිහිසුණු ‘රහසිගත රාජ්‍යය’ ඒ මත වාඩිලාගෙන සිටී.
ගම්මන්පිලලා යනු ඒ බිහිසුණු යාන්ත්‍රණයේ කරපිංචා රම්පේ වැනි සූප්පා විසිකරන රසකාරක ය!
(සනත් බාලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා
සමාජ සහ දේශපාලනික ක්‍රියාකාරික