මේ එළෙඹ ඇත්තේ මෙරට ජනතා නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඉදිරියේ වර්තමානයේ ඇති බරපතලම ගැටළුවයි.

ශ්‍රී ලංකාවේ රජය සතු සමාගමක් විසින් මේ වන විට දිගින් දිගටම ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමගින් ගනුදෙනු මෙහෙයවීමේ අනිටු ඵල විපාක වලින් මේ රට ගලවා ගන්නට නැගී සිටින්නට තව වැඩි කාලයක් නැත.

ඇත්තටම මේ රට වෙනුවෙන් සිතන පතන ජන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් වේ නම් ඔවුන් මේ සදාචාර විරෝධී මෙන්ම බරපතල රාජ්‍යතාන්ත්‍රික අවුලකට මේ රට ගෙනියන මෙම ප්‍රශ්නය දෙස දැඩි අවධානයක් යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා රජය අනුබද්ධිත ආයතන වලට මෙවැනි ජාත්‍යන්තර වෙළඳ නීතීන්, එකගතා උල්ලංඝනය කිරීමට ඉඩ දී ඇස් කන් පියා සිටීමෙන් පළක් වේද? දවසින් දවස මෙවන් අකටයුතුකම් සම්බන්ධ තත්ත්වය උත්සන්න වෙමින් පවතියි.

රටේ මුදල් ගල් කරන ලංකා ගල් අගුරු සමාගමේ මගඩිය

මේ මොහොත වෙන විට මේ රට තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන බරපතලම අයතා ගනුදෙනුව වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් වන Black Sand Commodities FZ LLC සමඟ රජයට අනුබද්ධිත ලංකා ගල් අගුරු සමාගම කරනා ගනු දෙනුවයි.

රජයට අනුබද්ධිත සමාගමක් ක්‍රියාවන් කිසිදු ගණනක් නැතිව ඔවුන් දිගින් දිගටම කිසිදු ජාත්‍යන්තර තත්ත්වයක් මායිම් නොකොට මෙම ගනුදෙනු දිගටම කරගෙන යන්නේ කාගේ හයියකින් ද කියා සොයා බැලීම වටියි.

මැතිවරණ දිනා රට බේරා ගන්නට සැරසෙන හැමෝම මේ වංචාව ගැන දැනුවත්ද?

ඉදිරියට එන මැතිවරණ වලට සූදානම් වෙමින් රට බේරා ගන්නනට වේදිකා වල සහතික දෙන පක්ෂ නායකයින්, නියෝජිතයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද දැඩිව අවධානය යොමු කළැ යුතු කරුණක් බවට මෙය අද වන විට පත්ව තිබේ.

මොකද මෙයින් වන ජාත්‍යන්තර බලපෑම හෙට රට බාර ගන්න කාටවුවත් මුහුණ දීමට සිදු වන බරපතලම රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් වන බැවිනි.

ලංකා ගල් අගුරු සමාගම මෙම ක්‍රියාපටිපාටිය විසින් දිගින් දිගටම කරන්නේ පැහැදිලිවම මේ හරහා ශ්‍රී ලංකාව ට මුහුණ දීමට සිදුවන ජාත්‍යන්තර අවමානය, රාජ්‍යතාන්ත්‍රික ගැටලු මෙන්ම දේශපාලනික බලපෑම් ගැන හොඳාකාරවම දැන දැන මය.

තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් වලට රට පාවා දෙන ගල් අඟුරු සමාගමේ නීලකාස හොරු ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් පෙර අනතුරු ඇඟවීම් සහ ජාත්‍යන්තර සම්බාධක මගින් ස්ථාපිත කර ඇති පැහැදිලි නෛතික සීමාවන් නොතකා, මෙම ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරින් විසින් විවිධ කූට උපක්‍රම හා උපාය මාර් ග භාවිතා කරමින් තමන් ගේ සක්කු වලට වැටෙන සන්තෝසම් වලට ඇති පෙරේත කමින් මෙම අසාදු ලේඛන ගත සමාගම සමග එක්ව සිදු කරන ගනුදෙනුවා දේශද්‍රෝහී ක්‍රියාවකි.

අද වන වන විට මෙය ඉතාමත් අවදානම් තැනකට තල්ලු වෙමින් පවතින අතර ලඟදීම මේ නිලධාරීන්ගේ වංචාකාරී ගනුදෙනු නිසා මේ රටේ හැමෝටම ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත්වීමේ ඉඩකඩ දැන් දැන් නිර්මානය වෙමින් පවතියි.

ලෝකෙ රවට්ටන්න ඇරපු හොර සමාගම හරහා ගනුදෙනුව ගජ රාමෙට

ලංකා ගල් අඟුරු සමාගම විසින් කොයිතරම් රැවටිලිකාර අන්දමින් මෙය සිදු කරනවාද කිවහොත් ඔවුන් මේ වන විට සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් වන Black Sand Commodities FZ LLC සමාගම සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටිනවා පමණක් නොව සම්බාධක මග හැර වක්‍රාකාරව සම්බන්ධ වී ගනුදෙනු කරමින් ජාත්‍යන්තර නීති රීති හා සීමාකිරීම් මග හැරීමට ඔවුන් විසින් පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක් වන Potencia FZ LLC සමඟ ගනුදෙනු ආරම්භ කර ඇත.

මේ වන විට මෙම කුප්‍රකට ගනුදෙනුව හරහා ගල් අඟුරු නැව් දෙකක් ගොඅඩ බා අවසන්ව ඇති අතර මෙරටින් ඒ සඳහා ගෙවීම් ද සිදු කර හමාරය. මෙය රටක් ලෙස ශ්‍රී ලංකාව OFAC රෙගුලාසි සෘජුවම උල්ලංඝනය කිරීමකි.

ආයෙත් පෝලිම් වල ඉන්න රටේ ජනතාව බිල්ලට දෙන්න ඉඩ දී තවත් බලා සිටිනවද?

මෙම ක්‍රියාවලිය තවදුරටත් සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. තමන් ගේ වාසි හා ලාබ ප්‍රයෝජන වෙනුවෙන් මේ ලංකා ගල් අඟුරු සමාගමේ දූෂිතයින් විසින් සිදු කරන්නේ ඉතාමත් අන්ත අගාධයකට වැටී බැට කෑ රටක මිනිසුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීමකි. මක්නිසාද මෙම ගනුදෙනුව හරහා ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකව ද, ආර්ථික වශයෙන්ද, විදෙස් වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම විදෙස් රැකියා හා ආයෝජන අවස්ථාද අහිමී යාමේ බරපතල තත්ත්වයක් ඇතිවීමේ අවදානම ට ලක්ව ඇත.

මෙම OFAC සම්බාධක උල්ලංඝනයන්ගේ ඇඟවුම් ගැඹුරු වන අතර එය ගෝලීය අපකීර්තියට පමණක් නොව අපගේ ජාතියේ මූල්‍ය ස්ථාවරත්වය සහ අනාගත අපේක්ෂාවන් ද අවදානමට ලක් කරයි.

තවත් ඇස් කන් පියා සිටීමෙන් වන්නේ විනාශය දෙපතුල ලඟටම කැන්දා ගෙන යළිත් තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල දින ගනන් රස්තියාදු වන්නට සිදුවන අනාගතයක් අප විසින්ම උදා කර ගැනීමකි.

අපේම පවුල් වල මිනිසුන් බෙහෙත් පැත්තක් නැතිව රෝහල් ඇඳන් උඩ අපිට පෙනි පෙනී මරණයට පත්වන දෙස බලා සිටීමකට දින ලංකර ගැනීමකි.

මෙය මේ රටේ දේශපාලන ව්‍යුහය විසින් පමණක් සොයා බැලිය යුතු කරුණක් නොවන්නේ මෙම නිලධාරීන් ගේ මේ අමන ගනුදෙනුව විනාස කරන්නේ මෙරට පොදු මහ ජනතාවගේ හෙට දවස නිසාවෙනි. ඒ නිසාම පොදු ජනතාව මීට එරෙහිව පෙල ගස්වන්නට සමාජයේ සිවිල් ක්‍රියාකාරීන් පෙරමුණ ගත යුතුමය. මේ රටට ආදරය කරන හැම කෙනෙක්ම මේ කුප්‍රකට ගනුදෙනුව ගැන දැනුවත් විය යුතුය. එය නතර කරන්නට රජයට හා බලධාරීන්ට බල කළ යුතුය.

රජය විසින් වහාම මින් ඉදිරියට නිවැරදි ආකාරයෙන් හා නිවැරදි අවබෝධයෙන් ජාත්‍යන්තර හා සම්බන්ධ වෙමින් මෙම රෙගුලාසි කඩකිරීම් නිවැරදි කිරීමට සහ ගෝලීය සම්බාධක පැනවීම් සමගින් දැඩි ලෙස අනුකූල වීම සහතික කිරීමට ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ විය යුතුය.

සිවිල් පුරවැසියන් ලෙස මෙවන් දූෂිත ගනුදෙනු පිළිකුල් කරමින් ඊට සම්බන්ධ වන සියලු දෙනාම ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ කළ යුතුය. රටක් ලෙසත් සමාජයක් ලෙසත් අපගේ සාමූහික අනාගතය රඳා පවතින්නේ ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වන නීති රීති රෙගුලාසි කඩකිරීම්වල දරුණු ප්‍රතිවිපාකවලින් අපේ ජාතිය ආරක්ෂා කර ගැනීමට අද අප ගන්නා ක්‍රියාමාර්ග මත ය.

OFAC සම්බාධක උල්ලංඝනය කිරීම හෙට දවසේ ශ්‍රී ලංකාවේ ආර්ථික , රාජ්‍යතාන්ත්‍රික හා ස්වෛරීත්වය සුරක්ෂිත කිරීම බරපතළ තත්ත්වයක් නොවන්නේද?

(විශේෂ වාර්තාකරුවෙකු විසිනි)