ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැලි අද (18) පැවැත්වීමට නියමිත යි. එම ප්‍රධාන රැලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. අද මධ්‍යම රාත්‍රීයේ දී මෙවර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිත යි.

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැලිය කොටහේන නගරයේ පැවැත්වෙන බවයි කියන්නේ.

සජබ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැලිය මරදානේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි තුනක් අද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් හී මෙම රැලි තුන සංවිධානය කර ඇති බව එහි සංවිධායකවරුන් පවසනවා. පළමු රැලිය අද සවස 3.00ට කළුතර නගරයේ දී ආරම්භ වන අතර දෙවැනි රැලිය ආරම්භ වන්නේ ප.ව. 3.30ට ගම්පහ නගරයේ දී යි.

අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් රැලිය පැවැත්වෙන්නේ නුගේගොඩ දී යි. එය ආරම්භ වන්නේ සවස 5.00ට බවයි කියන්නේ. මෙම ජන රැලි තුනටම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සහබාගී වන බවයි කියන්නේ.