ආණ්ඩු බලය අත්පත් කර ගැනීමත්, කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැඟීමත් යන අභියෝග දෙක ජාජබ උර මත පැටවී තිබෙන බවත් එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව අමතමින් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ පනත් මොනතරම් තිබුණත් ඒ හැම නීතියකටම වඩා උඩින් හිටි පාලකයන්ට ඉදිරියේදී නීතියට යටත් වෙන්න සිදුවෙනවා නිසැක යැයිද හෙතෙම කීය. මේ ජන හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රැස්ව සිටියහ. අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද පැවැසීය.

“අපේ රටේ ජනතාවට යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවන් තිබුණා. කවර ආණ්ඩුවක් හැදුවත් කවර පාලකයෙක් පත්කර ගත්තත් පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවනුයි. හැබැයි පාලකයාට තිබුණේ ඊට පටහැනි අපේක්ෂාවන්, වෙනස් බලාපොරොත්තු. ඒ නිසා ජනතාවගේ අරමුණුත්, බලාපොරොත්තුත් පාලකයාගේ අරමුණුත්, බලාපොරොත්තුත් දෙකක් වුණා. ජනතාවගේත් පාලකයාගේත් අපේක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් අපි ලංකාවේ පළමු වතාවට හදමු.

අපි ඔබට ආරාධනා කරන්නේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රට ගොඩනැඟීම සඳහාත් දායකත්වය දෙන කණ්ඩායමක් ලෙස අපත් එක්ක එකතු වෙන්න කියලා.

ලංකාවේ පළමුවැනි වතාවට ඡන්දයක් පිළිබඳව අවිනිශ්චිතතාව ඇවිත් තිබෙනවා. ඒ අන් කවරක්වත් නිසා නොවෙයි; අපේ රටේ දූෂිත, විනාශකාරී, ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවන තත්ත්වයක් ඇති වී තිබෙනවා. රාජපක්ෂ කඳවුර අතින් රනිල් කඳවුර අතට බලය මාරුවෙනවා නම්, රනිල් කඳවුරෙන් රාජපක්ෂ කඳවුරට බලය මාරුවෙනවා නම් ඔවුන් කවදාවත් බිය වෙන්නේ නැහැ. ලංකාව වසර 76ක් පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීමේ අවස්ථාවක් උදාවී තිබෙන නිසා තමයි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් තිබෙන්නේ. එහෙත් ජනාධිපති ඡන්දයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් නැහැ. ජනාධිපති ඡන්දයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් බැසිල් රාජපක්ෂ ගෙනත්. ජනාධිපති ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බොත් අපිව හෝදගෙන යනවා කියලා ඔහු කියනවා.

පොහොට්ටුව අද “ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී” තත්ත්වයට පත්වෙලා. අද අපේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී පාලක පන්තියට පාඩම් උගන්වන්නම්, ඡන්දෙදි අපි බලාගන්නම් කියන අරමුණෙන්. ඡන්දෙ තියන්නේ නැහැ කියලා දැනුණොත් ජනතාව හෙට පාරට බහිනවා.

නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිව්වා “පොදු සතුරෙක්” ගැන. අප අතර තිබෙන වෙනස්කම් පැත්තකින් තබලා පොදු සතුරාට මුහුණ දෙමු කිව්වා. පොදු සතුරා තමයි එන්.පී.පී. එක. අපි සතුටු වෙනවා ඒගොල්ලන්ගේ මිතුරා නොවී සතුරා බවට පත්වීම ගැන.

ජාතික ජන බලවේගය පරාජයට පත් කිරීමට ඊට එරෙහිව සෑම දෙනාම එකතු විය යුතුයි කියන සාකච්ඡාව ඇති වී තිබෙනවා. මෙවැනි පරිවර්තනයන් සාමාන්‍ය විදිහට සිදුවෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අපි පැරදුණොත් පසුවදා සිට දේශපාලනය කරනවා. අහිමි වෙන්න දෙයක් නෑ. එහෙත් එයාලා පැරදුණොත් ගොඩක් දේවල් අහිමි වෙනවා. පෙළපත් පාලනය අහෝසි වෙනවා. ඔවුන්ට නීතියට යටත් වෙන්න සිදුවෙනවා. අයථා ලෙස එක්රැස් කරගෙන තිබෙන ධනය අහිමි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලය ගිලිහී යෑම වැළැක්වීම සඳහා එයාලගේ පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

ජනවහරේ කතාවක් තිබෙනවා “විශාල ගංවතුරකට අසුවෙලා, ගහගෙන යනකොට නයයි මුගටියයි එක කොටේකට නඟිනවා” කියලා. මේ නයි-මුගටි ඉදිරියේ එක වේදිකාවේ දකින්න හැකි වෙනවා. ඒ ගොල්ලන්ගේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව පැහැදිලියි. අපට බලය ලබා ගැනීම සඳහා කරන්න තිබෙන්නේ තව තවත් ජනතාව දැනුවත් කොට එකතු කර ගැනීමයි. ජනතා විශ්වාසය දිනා ගැනීමයි. අපි ඔබට ආරාධනා කරන්නේ එම කාර්යයේදී ඔබ පංගුකාරයෙක් බවට පත්වෙන්න. දූෂිත, ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ගොඩනඟන්න එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා.

කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාවටත් මම ආරාධනා කරනවා. ඔවුන්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජනතාවට ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා. මම සිංහල බෞද්ධ සංස්කෘතිය තුළත් තව කෙනෙක් දෙමළ පවුලක හින්දු ආගමික සංස්කෘතියක් තුළත් තව කෙනෙක් ඉස්ලාම් සංස්කෘතිය තුළත් ක්‍රිස්තු ආගමිකයන් සහ බර්ගර් පිරිස් ඒ ඒ සංස්කෘතීන් තුළ හැදුණු වැඩුණු අයයි. අපි එකිනෙකා වෙනස්. ආගම්, භාෂා, සංස්කෘතීන් අනුව උපත ලැබීම අපරාධයක්ද? මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් සමත් වුණා අප රට ඇතුළේ ඒ බෙදීම ඇති කරන්න. අපේ රටේ මුළු දේශපාලනයම කළේ

අනෙකාට එරෙහිව. උතුරේ දේශපාලනය දකුණටත් දකුණේ දේශපාලනය උතුරට එරෙහිවත් දකුණේ දේශපාලනය නැඟෙනහිරටත් නැඟෙනහිර දේශපාලනය දකුණට එරෙහිවත් මෙහෙය වූවා. මුළු දේශපාලනයම සිංහල, දෙමළ, මුස්ලිම් කතා කරන භාෂාව අනුව, ආගම අනුව, අනන්‍ය වූ සංස්කෘතීන් අනුව අනෙකාට එරෙහිව අපව තීරු තීරුවලට බෙදුවා. අද ලංකාවට අවශ්‍ය එකතුවීමේ හා සමඟියේ දේශපාලනයක්. අපි තිස් වසරක යුද්දෙකට මුහුණ දුන්නා. මහපොළොව තෙත් වෙනකම් ලේ හැලුවා; ගංගා පිරෙනකම් කඳුළු ගැලුවා. උතුරේ, දකුණේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් අහිමි වුණා. මේ බෙදුම්වාදී දේශපාලනයේ අපට ඉතිරිවුණු ප්‍රතිඵලය කුමක්ද? අපි මේ දේශපාලනය අවසන් කරන්න ඕනෑ නැද්ද? අපි උතුරේ ජනතාවගේ හා නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න පිළිබඳව, බැරෑරුම් ලෙස කල්පනා කරන දෙමළ – මුස්ලිම් දේශපාලන නායකයන්ට අපි ආරාධනා කරනවා එකතු වෙන්න ඕන තැන ජාතික ජන බලවේගය කියලා.

1947 නිදහස ලබාගත්ත ඉන්දියාවේ නායකයන්ට තමන්ගේ රට ඉදිරියට යා යුතු දැක්මක් තිබුණා. එදා නායකයන් දැමූ පදනම තමයි අද හඳට යන ඉන්දියාවක්, ආසියානු කලාපයට වාහන සපයන, ඔෟෂධ සපයන, ආහාර සපයන රටක් හැදුණේ. අපිට ණය ගන්න සිදුවුණා, ණය ගෙවාගන්න බැරිවුණා. අපේ නායකයන්ට දැක්මක් සහිත පාලනයක් තිබුණේ නැහැ. විශාල ප්‍රාදේශීය බෙදීම් තිබෙන, විවිධ සංස්කෘතීන් තිබෙන, විශාල ආගම් ප්‍රභේද තිබෙන, විවිධ භාෂාවන් තිබෙන රටක් වූ ඉන්දියාවට එක ජාතික කොඩියක් යටතේ ජනතාව පෙළගස්වන්නත් ඒ නිසා මන මෝහං සිංට අගමැති වෙන්නත් අබ්දුල් කලාම්ට ජනාධිපති වෙන්නත් හැකියාව ලැබී තිබෙනවා. කුලහීන යැයි සම්මත කාන්තාවකට ජනාධිපති වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ, පාලකයන්ට ජාතික ඒකාග්‍රතාවක් ඇති කරන්න පුළුවන්කම ලැබුණු නිසා. නමුත් අපේ රටේ 1958 සිට 2019 දක්වා මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමේ වියගසෙන් අපි මිදෙන්න ඕනෑ.

මෙවර ජනාධිපතිවරණයේදී උතුරේත් දකුණේත්. නැඟෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එකට එකතු වී නව පාලනයක් ගොඩනඟා ගනිමු. 1948 සිට පාලකයන් අවස්ථා මඟහැරියත් 2024දී එකමුතුකම, සමඟිය, ජාතික ඒකාබද්ධතාව සහිත පාලනයක් ගොඩනඟා ගනිමු. මට ඡන්දෙ දෙන්න, මම 13 ප්ලස්, ෆෙඩරල් දෙන්නම් කියා ඡන්ද ගනුදෙනුවක් කරන්න සූදානම් නැහැ. දේශපාලනය කියන්නේ ගනුදෙනුවක්, බිස්නස් නොවෙයි. දේශපාලනය කියන්නේ සාමූහික ව්‍යායාමයක්. උතුර, දකුණ, නැඟෙනහිර අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ගොඩනඟමු..