මාලිමාවේ බලයක් තුළ ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර,

“සමාජය නිර්මාණය කරන ඒ අභීත ගැහැනිය ඔබයි. අපි අපේ ශක්තිය හඳුනාගෙන නැහැ. කාන්තාව මේ සමාජයේ ආර්ථික ක්‍රියාවලියට විවිධ ආකාරයෙන් දායක වෙනවා. තේ දළු නෙළලා, කිරි කපලා මේ රටට ඩොලර් උපයන ගැහැනිය ඔබයි. ඈත ගමක අකුරු ලියන්න දන්නේ නැති කාන්තාව ඇඟිලි අත්සන ගහලා, තමන්ගේ පවුලේ සමීපතමයන් දාලා මැදපෙරදිග ගිහින් අපේ රටට ඩොලර් ගේනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 52%කට වඩා අපේ ආර්ථිකයට දායක වෙනවා. මේ ක්ෂුද්‍ර කර්මාන්ත ඇතුළේ අපේ කාන්තාව වැඩි පිරිසක් විශාල දායකත්වයක් දක්වනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා කාන්තාවන් විශාල පිරිසක් පීඩාවන් රැසකට මුහුණ දී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට විශාල ලෙස මුහුණ දෙන්නේ ඇය ව්‍යවසායිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයට දායක වෙන නිසයි. ඊට අමතරව වැටුප් ලබන කාන්තාවන් ගැන හිතුවොත් ප්‍රධාන පෙළේ රැකියාවල නියැලී ඉන්නේ 7.8%යි. රැකියා කරන කාන්තාවන්ගෙන් බහුතරය සාමාන්‍ය රැකියා කරන අයයි. හැබැයි මේ රටේ ආර්ථිකය හදන්න ඇය සුවිශාල දායකත්වයක් දක්වනවා. මේ ආර්ථිකය ගොඩනඟන්න, ඩොලර් හොයන්න දායක වෙන කාන්තාවට 76 වසර ඇතුළෙ ප්‍රති උපකාර විදිහට මේ පාලකයන්ගෙන් මොනවාද ලැබුණේ. ඔබට නිසි වැටුපක්, ඇගයීමක්, සැඳෑ සමය සතුටින් ගෙවන්න කිසියම් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණද, නැහැ. මේ රටේ කම්කරු නීතිය ඇතුළේ දේශපාලනඥයෝ දිනා දුන්නේ මොනවාද?

1948ට පෙර සිට කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණාට, අපෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන් අපිව නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ගේ මතය නියෝජනය කරමින් වෙනත් පැතිවලට, සල්ලිවලට විකිණෙනවා. ඔබ වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම නම් මේ පාලන ක්‍රමය තවදුරටත් අරගෙන යන්න ඕනද? බොහෝ කාන්තාවන්ගේ අත, කණ, කර උගස් කර තිබෙන්නේ. පවුල්වලින් 35%ක් තමන්ගේ වටිනා සම්පත් උගස්කර තිබෙන්නේ. එයින් 22%ක්ම එසේ කර ඇත්තේ තමන්ගේ දරුවාට කන්න දෙන්න, දරුවා පාසල් යවන්න වැනි ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගන්න. ජනතාවගේ ප්‍රාථමික අවශ්‍යතාවත් ඉටුකර දෙන්න බැරි පාලනයක් මොකටද කියා හිතෙන්නේ නැද්ද? වසර 36ක්ම මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ ගොල්ලෝ මේ රට පාලනය කරන කොට වර්තමාන ජනාධිපතිවරයා අවස්ථා හයකදී අගමැති ධුරය දරා තිබෙනවා. නමුත් දැන් ඔහු 2048 වෙන කොට රට හදන්න ප්ලෑන් හදනවා. ඔහු ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හොබවා තිබෙනවා. ඒ අවස්ථාවල මොනවද ඔබට දුන්නේ. තවදුරටත් මොනවා හෝ කරයි කියා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මේ දවස්වල ලස්සන කෙටි නාට්‍ය බලන්න පුළුවන්. ඔබේ දරුවගේ ආහාර වේල ඉස්කෝලෙන් හම්බවෙනවා. අම්මගේ තාත්තාගේ වැටුප එක අතකින් බදු වශයෙන් කොල්ලකමින් දේශපාලනඥයා පාසලට ඇවිත් අනෙක් අතෙන් කෑම වේල දෙන්නේ ඔබටවත්, දරුවටවත් ආදරේ හින්දා නොවෙයි; ඔවුන්ට ඡන්ද නැති හින්දයි. දරුවා බඩගින්නේ එසෙම්බ්ලියේදි කලන්තේ දාලා වැටෙද්දී, දරුවගේ බත් එකෙ මැල්ලුමයි, බතුයි තිබෙද්දී, ඔබ බත් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ලුනු ටිකක් ඉහගෙන කද්දි කිසිම දේශපාලනඥයෙකුගේ ඇස් ඇරුනේ නැහැ. ඡන්දයක් ළඟ එනකොට ඔවුන්ට දරුවන්ගේ කුසගින්න දැනෙන්න පටන් අරගෙන.

ඔබ සිතිය යුත්තේ තමන්ගේ දරුවාට පෝෂණීය ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අම්මගේ තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නායකත්වයක් ගැනයි. දැන් විවිධ විදියේ සංවිධාන හැදෙමින් පවතිනවා. ඔබට සහල් කිලෝ දහය ගානේ අප්‍රේල්, මැයි මාසෙට ලැබෙන්න නියමිතයි. තව බොහෝ දේවල් ලැබේවි. ගෑස් මිල, පෙට්්‍රල් මිල අඩුවේවි. කිරිපිට මිල ඊයේ අඩු වුණා. ඔබ නොසිතන ආකාරයේ කේතුමතී සුරපුරයක් මවාවී. ඔබ රැවටුණොත් ඔබගේ දරුවාගේ අනාගතය ඔබ 76 වසරක් පුරා විඳි ජීවිතයටත් වඩා ඛේදාන්තයක් වෙනවා නොඅනුමානයි. ඒ නොමිලේ ලැබෙන සෑම දෙයක්ම ගන්න. හැබැයි ඒවා ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න. නැතිනම් ඔබට නොමිලේ සත්තු වත්ත බලන්න ගිය අයට වුණුදේට මුහුණ පාන්න සිදුවේවි. අනෙක ඔබ මතක තියා ගන්න ඔය නොමිලේ දෙන්නේ ඔබගේ පර්ස් එකෙන් අරගත්තු බදු සල්ලි බව. ඔබ කැමති වුණත් නැති වුණත්, වක්‍ර බදු ලෙස ඔබ 40,000කට ආසන්න මුදලක් රජයට ගෙවනවා. ඒ සල්ලිම තමයි ඔය හාල් කිලෝ දහයක් වෙලා, මහන මැෂින් එකක්, නැතිනම් පෝෂණ මල්ලක් වෙලා එන්නේ. ඒක ඔබට ගන්න අයිතියක් තිබෙනවා.

කාන්තාවන් හරිම බුද්ධිමත්. කාන්තාව වෙනස් වුණොත් අනෙක් අය වෙනස් වෙනවා වගේ නොවෙයි. මාග්‍රට් තැචර් කියනවා “ඔබට මොකක් හෝ කියන්න දෙයක් තිබෙනවා නම්, පිරිමියෙක්ට කතා කරන්න. ඔබට මොකක් හරි වැඩක් කර ගන්න තිබෙනවා නම් කාන්තාවකට කියන්න” කියලා. ඒ කාන්තාවගේ ශක්තිය හඳුනා ගත් හින්දයි ඒ විදිහේ ප්‍රකාශයක් කළේ. ඒ නිසා ඔබේ ශක්තිය ගැන ලඝු කර හිතන්න එපා. මේ රට පරිවර්තනීය වෙනසකට ගෙනියන්න ඔබේ ශක්තිය ප්‍රමාණවත්. හැබැයි තනි තනි වශයෙන් කාන්තාවන් ගත්තාම අපිට මේ සමාජය පරිවර්තනය කරන්න බලයක් නැහැ. ඔබ නීතිඥවරියක්, වෛද්‍යවරියක්, ගුරුවරියක්, ගෘහණියක් වෙන්න පුළුවන්. ගමට, සමාජයට වැඩිම වැඩිම දායකත්වය දෙන ගැහැනුන්ට, වැඩ ඇරී වැඩට යන ගැහැනුන්ට මේ රටට දැවැන්ත ශක්තියක වෙන කාන්තාවන්ට හැම කෙනෙකුටම මේ සමාජය පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසයි අපි එක මිටට කාන්තාවන් එකතු කරන්නේ. විවිධ ශක්තීන් තිබෙන කාන්තාවන් එකට එකතු වුණොත්, ඒ සියලු ශක්තීන් බලයක් විදිහට ගොඩනැගෙනවා. ඒ බලය ඕනෑම අභියෝගයට එරෙහිව නැගී සිටින්න ප්‍රමාණවත්. ජාතික ජන බලවේගය කාන්තා බලය ගොඩනගන්නේ ජයග්‍රහණය කර අපි ප්‍රාර්ථනා කරන ඒ දේශය ගොඩනඟන්නයි.

ඔබට, මට කැමති විදිහට ඇති තරම් නිෂ්පාදනය කරන්න පුළුවන් ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබට කැමති විදිහට සම කොටස්කරුවන් වෙන ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබ කැමති විදිහට ආර්ථිකයට ඇතුළු වෙන්න පුළුවන්, ඔබට වැඩ කරන්න පුළුවන්. හම්බකර ගන්න පුළුවන්. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අපි ඇති කරනවා. අපි හැමෝටම ආර්ථිකයේ සාධාරණ පංගුවක් ලබාදෙනවා. මෙතෙක් පැවති මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරලා, ලස්සනට ජීවත් වෙන රටක් හදන්න නම්, ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගත්තා වගේම ඔබ, අප හදන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතුමයි. ඔබ ප්‍රාර්ථනා කරන දේශය ගොඩ නගන්න නම්, ඔබ ඡන්දය දීලා විතරක් මදි. ඔබ එහි කොටස්කරුවෙක් ලෙස එකතු වෙන්න.

අපි එකාවන්ව එකතු වෙලා වැඩකරමු. අපි සංවිධානය වෙමු. හැම කාන්තාවක්ම තමන්ගේ උපරිම දායකත්වය මේ සඳහා ලබාදෙමු. අපි අපේ ලෝකයක් ගොඩනඟමු. අපේ දරුවන්, ඔබ, අපි සතුටින් ඉන්න, ඔබට මට සමාන වටිනාකමක් හම්බවෙන ලස්සන සමාජ ක්‍රමයක් නිර්මාණය කරමු. එකිනෙකාට ගරු කරන, එකිනෙකාට ආදරය කරන ඒ ලස්සන ලෝකය නිර්මාණය කරන්න අපි දායක වෙමු. මාලිමාව දිනවලා මේ රට නැවත ගොඩනඟන ඒ කාර්යයට දායක වෙන්න කියා ඔබට ආරාධනා කරනවා.”