තම ජයග්‍රහණයට බියවී ඇති පාලක කණ්ඩායම් තම අපේක්ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා සිය ජයග්රහණයෙන් පසුව ඇතිවන තම පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදන බවයි.
“1977 බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරීවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්රහණයෙන් පසුව අනෙක් පක්ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.
අපේ ජයග්‍රහණයට බියවෙලා ඉන්න පාලක කණ්ඩායම් අපේ අපේක්ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා. සැප්තැම්බර් 21 වෙනිදා අපි ලබන ජයග්රහණයෙන් පසුව අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ ‘රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා’ රාජපක්ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ.
2022 මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ ‘රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා’ කියලයි.
අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්ෂා කරනවා” යි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.