ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් පක්ෂ නායකයන් දෙදෙනා වෙත යවා තිබූ ලිපියට අද (05) දිනැතිව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සභාපතිවරයා වෙත යවා ඇති සම්පූර්ණ ලිපිය මෙසේයි.
“2024.06.04 දාතමින් ඔබ විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කූමාර දිසානායක සහෝදරයා අමතමින් එවන ලද ලිපිය හා බැඳේ.
එම ලිපිය මගින් අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර 2024.06.06 වැනි දින පැවැත්වීමට නියමිත විවාදය සඳහා ඔබ ආයතනයේ රූපවාහිනී නාලිකාව මගින් පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය පළ කරමු.
ඒ අනුව එම දිනයේ දී අදාළ විවාදයට අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීමට සූදානමින් සිටින බව මෙයින් දැනුම් දෙමු. කෙසේ චුවද මෙය සාමාන්‍ය රූපචාහිනී සංවාදයක් නොව දැනටමත් ප්‍රකාශිත විවාදයක් වන බැවින් ප්‍රතිපාර්ශවය වන සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි වන්නේද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතුව ඇත.
එබැවින් ඒ මහතා අදාළ දිනයේ යොදා ඇති වේලාවට සහභාගි වන බව දැනුම් දී ඇත්දැයි කඩිනමින් අප වෙත දැනුම් දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු”.