ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට අබාධිත මහජන නියෝජිතයෙකු පාර්ලිමේන්තුවේදි සිය මංගල කතාව අද (06) සිදු කරන ලදී.

ඒ ජාතික ජන බලවේගයෙන් ජාතික ලයිස්තු තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වාය.

ඔහු සිය මංගක කතාව සිදු කරමින් ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7500 සිට 10,000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බවත් අබාධිත ප්‍රජාව රටේ අභිමාවත් පිරිසක් ලෙස නැගී සිටීමට අවශ්‍ය තත්වය ජාතික ජන බලවේගයේ පාලනය තුළ ඇති කරන බවත් සඳහන් කර සිටියේය.

එහිදී ඔහු “මේ මගේ මංගල කතාවයි. එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා. මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ. ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි.

එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්. විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා. මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි.

මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ” යනුවෙන්ද පැවසීය.