විවිධ හේතූන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් එකතු කිරීමේ ජාවාරම් මේ දිනවල බහුලව ක්‍රියාත්මක වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී භාරත තෙන්නකෝන් පවසයි. තමන්ගේ යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් පුද්ගලයින් සහ සංවිධාන විවිධ බොරු හේතු දක්වමින් සාමාන්‍ය ජනතාව රවටා විශාල වශයෙන් මුදල් උපයන බවයි.
“මිනිස්සුන්ට සල්ලි හදිස්සියක් වුණාම යාළුවෙක්ගෙන් ඉල්ලනවා, බැංකුවකින් ණයට ගන්නවා වගේ ක්‍රම තියෙනවා. නමුත් දැන් සමහරු කරන්නේ ලොකු බොරු ගොතලා, සමාජ මාධ්‍ය හරහා ලයිව් (Live) ඇවිත් එකවුන්ට් නම්බර් දීලා සල්ලි ඉල්ලන එක. සමහරු මේක තමන්ගේ වෘත්තියක් කරගෙන,” යනුවෙන් ඔහු පැවසීය.
විශේෂයෙන්ම, ජාතික සහ ආගමික ගැටලු මතුකරමින් ජනතාවගේ හැඟීම් අවුස්සා මුදල් එකතු කරන කණ්ඩායම් සිටින බව ඔහු හෙළි කළේය. මෑතකදී, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව සමාජයේ යම් විවේචනයක් ඇති වූ අවස්ථාවේදී, එය ද තම මඩිය තර කර ගැනීමේ අවස්ථාවක් කර ගත් පිරිසක් සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
“ආනන්ද හාමුදුරුවන්ට එරෙහිව සංවිධානය කළා කියන විරෝධතාවක් ගැන කියලා එක්තරා පුද්ගලයෙක් මුදල් ඉල්ලුවා. ඔහුට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම දීම ගැන විරෝධය පානවා කියලා තමයි ඒ මුදල් ඉල්ලුවේ. හැබැයි එතන ඇත්තටම වුණේ, හාමුදුරුවන්ගේ නම පාවිච්චි කරලා තමන්ගේ සාක්කු පුරවගන්න එකයි,” තෙන්නකෝන් මහතා චෝදනා කළේය.
මෙවැනි වංචනිකයන්ට නොරැවටී, තම මහන්සියෙන් උපයන මුදල් ලබා දීමට පෙර දෙවරක් සිතා බලන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.