මීතොටමුල්ල කුණු කන්ද ගොඩකිරීමට එරෙහිව 2015 වසරේදී ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට අදාළ නඩු විභාගය අවසන් කරමින් ඊයේ (මාර්තු 31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මෙම තීන්දුවට අනුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, සහ කොළඹ මහ නගර සභාව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන රැසක් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබියදී, එනම් 2017 අප්‍රේල් 14 වැනිදා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනයේදී මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ අවාසනාවන්ත ඛේදවාචකය සිදුවිය. එම බිහිසුණු අනතුරින් ජීවිත 40ක් අහිමි වූ අතර, ඉන් පුද්ගලයින් 32 දෙනෙකුගේ සිරුරු සොයාගැනීමට හැකි වුවද, තවත් පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු කිසිදිනෙක සොයාගැනීමට නොහැකි විය. මෙම ඛේදවාචකය සිදුවී වසර 09කට අධික කාලයකට පසුව අදාළ පෙත්සම් සඳහා අධිකරණ තීන්දුව හිමිවීම විශේෂත්වයකි.
මීතොටමුල්ල කුණු කන්දේ ආරම්භය සිදුවූයේ 2009 වසරේදී ලබාදුන් අධිකරණ තීන්දුවක් මත බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කුණු බැහැර කිරීම නවතා, මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 02ක ඉඩමකට තාවකාලිකව කසළ බැහැර කිරීමට අවසර ලබාදීමත් සමඟිනි. කෙසේ වෙතත්, නිසි කළමනාකරණයකින් තොරව එම භූමිය අක්කර 19ක් දක්වා අනවසරයෙන් ව්‍යාප්ත වීම අවසානයේ අතිමහත් ජීවිත විනාශයකට මුලපිරීය.