රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) තෙදින නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ඔහු සමඟ තවත් නියෝජිතයින් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. රුසියාවේ මොස්කව් නුවර සිට ‘එරොෆ්ලොට්’ (Aeroflot) ගුවන් සේවයට අයත් එස්.යූ.- 588 දරන විශේෂ ගුවන් යානයෙන් අද පෙරවරු 10.52ට පමණ මෙම පිරිස දිවයිනට ළඟා විය.
කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී (VIP Lounge) රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙයි.