නීතිවිරෝධී අයුරින් වත්කම් ඉපැයූ බවට එල්ල වන චෝදනාවකට අදාළව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 243.8ක (රුපියල් කෝටි 24කට අධික) වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.
එහිදී ඔහු ලබා දුන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කොමිසම සඳහන් කරන්නේ, අදාළ රුපියල් මිලියන 243.8ක අතිවිශාල වත්කම තමන් උපයාගත්තේ කෙසේද යන්න නීත්‍යානුකූලව සනාථ කිරීමට සජින් ද වාස් ගුණවර්ධන අපොහොසත් වී ඇති බවයි.