ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ ක්‍රියාකලාපය සහ පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳ ඔහු දැරූ ආන්දෝලනාත්මක ස්ථාවරය දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉරානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කුඩා පිරිසක් අමතමින් සිංහල භාෂාවෙන් විරෝධය පළ කිරීම හුදෙක් දේශීය ජනතාව ඉලක්ක කරගත් රංගනයක් බව විචාරකයෝ පෙන්වා දෙති. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස ඔහු කළ යුතුව තිබුණේ මෙරට ජනතාව ඉදිරියේ අඳෝනා නැගීමක් සිදු කිරීම නොව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉංග්‍රීසි භාෂාවෙන් විධිමත් විරෝධතාවක් ඉදිරිපත් කිරීම බව ඔවුහු අවධාරණය කරති.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් මුදල් වැය කරමින් පරීක්ෂණ පැවැත්වීම අනවශ්‍ය බවට රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රකාශය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු වී තිබේ. ඔහුට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවේ ඔහු මෙම අදහස් පළ කර ඇත.

කෙසේ වෙතත් දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ, අදාළ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නීතිය හා සාමය විෂය භාර අමාත්‍ය ධුරය හෙබවූයේ රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු වන සාගල රත්නායක බවයි. එවන් පසුබිමක් තුළ විමර්ශන සඳහා මුදල් වැය කිරීම අනවශ්‍ය බවට හිටපු ජනාධිපතිවරයා පවසන කරුණු ගැටලු සහගත බව ඔවුහු පෙන්වා දෙති.