2022 වසරේ සිට ගෙවීම අත්හිටුවා ඇති දේශීය හා විදේශීය ණය වාරික සහ පොලී මුදල් 2028 වසරේ සිට නැවත ගෙවීම ආරම්භ කළ යුතු වුවත්, කිසිදු බාධාවකින් තොරව ඒවා පියවීම සඳහා මේ වන විට ශක්තිමත් මූල්‍ය අඩිතාලමක් සකසා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ, 2028 වසරේ සිට 2031 වසර දක්වා සහ ඉන් ඔබ්බට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් 4.0ත් (USD 3.5 Bn – 4.0 Bn) අතර මුදලක් ණය වාරික සහ පොලී වශයෙන් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බවයි. එම වගකීම පැකිළීමකින් තොරව ඉටු කිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් සකසා ඇති බව හෙතෙම අවධාරණය කළේය.

වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, අනිවාර්යයෙන් ගෙවිය යුතු ණය වාරික සහ පොලී සඳහා 2025 වසර තුළදී ද ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 04ක මුදලක් ගෙවා ඇති බවයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාව 5.0%කට අධික ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට නියමිත බවත්, සමස්ත ආර්ථික ක්‍රියාවලිය යහපත් වීම තුළ ණය ආපසු ගෙවීම අභියෝගයක් නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ගොඩනගා ඇති මෙම ආර්ථික ස්ථාවරත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහා සහාය වීම සැමගේ වගකීමක් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේය.