2026 වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 05 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි.

එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 22 වැනිදා දක්වා කාලය තුළ සමස්ත සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විශේෂයෙන් 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා වූ දින කිහිපය තුළ පමණක් සංචාරකයින් 228,424 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පෙබරවාරි මාසයේ ගතවූ සති තුන තුළ අඛණ්ඩව සෑම සතියකම සංචාරක පැමිණීම 70,000 ඉක්මවා යාම සංචාරක කර්මාන්තයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම අධිකාරිය සඳහන් කරයි.