2016 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදායින් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධාරීන්ට අහිමි කර තිබූ විශ්‍රාම වැටුප් උරුමය යළි ලබා දීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේදී 2016න් පසු රාජ්‍ය සේවයට එක්වූවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, 2026 වර්ෂය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් මෙම අයිතිය නැවත තහවුරු කිරීමට පියවර ගැනිණි.

නව සංශෝධනයට අනුව, දැනට සේවයේ නියුතු අදාළ නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් වගන්තිය සංශෝධනය කෙරෙන අතර, ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන සියලුම නිලධාරීන්ට ද විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු වන පරිදි පත්වීම් ලිපි සකස් කිරීමට උපදෙස් ලබා දී ඇත.