“අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”; බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් නාමල්ගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් පලවා හරී

වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දිලූක කුලරත්න හෙවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දස දෙනාගේ පවුල්වල සාමාජිකයින්, අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බාහිර පිරිසකට එරෙහිව දැඩි විරෝධය පළ කර තිබේ.

සැකකරුවන් ඊයේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බාහිර ප්‍රදේශවලින් පැමිණි 12 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත. කෙසේ වෙතත්, රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින් චෝදනා කරන්නේ මෙම පිරිස නාමල් රාජපක්ෂගේ සමීපතමයන් බවත්, මොවුන්ගේ අනවශ්‍ය මැදිහත් වීම් හේතුවෙන් තම ඥාතීන්ට ඇප ලබා ගැනීමේ ක්‍රියාවලියට බාධා සිදුවන බවත්ය.

විරෝධතාකරුවන් වෙත අදහස් දැක්වූ ඥාතීන්, තම පවුල්වල සාමාජිකයින්ගේ නීතිමය කටයුතු අවුල් නොකරන ලෙස ඔවුන්ට අවධාරණය කර තිබේ. එහිදී එක් කාන්තාවක් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ත්‍රිකුණාමලය තුළ කිසිදු ආගම්වාදී හෝ ජාතිවාදී බෙදීමක් ඇති කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.