2025 වසර තුළ ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිදුකළ හදිසි වැටලීම්වලදී පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 1300 දෙනෙකුට එරෙහිව නඩු පවරා, රුපියල් තුන් කෝටි හැටපන් දහසක (රු. 30,065,000) දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම සඳහන් කරයි.

මහජනතාව විසින් 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ සහ දිස්ත්‍රික් කාර්යාලය වෙත ලබා දුන් තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී සහල් සම්බන්ධයෙන් වැටලීම් 405ක් සිදු කර ඇති අතර, ඉන් වැඩි පිරිසක් හසු වී ඇත්තේ සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙනි. එම වැටලීම් 169 සඳහා පමණක් අධිකරණය මගින් රුපියල් එක් කෝටි අනූහත් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ. ඊට අමතරව මිල ප්‍රදර්ශනය නොකිරීම, සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම, තොග සඟවා තැබීම සහ ඇසුරුම්වල තොරතුරු වෙනස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් 165 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

උත්සව සමය ඉලක්ක කර ගබඩා කර තිබූ වියළි මිරිස්, මුං ඇට සහ උඳු වැනි කල් ඉකුත් වූ භාණ්ඩ සොයා ගබඩා කිහිපයක් පරීක්ෂා කළ නිලධාරීන්, ඊට අදාළව භාණ්ඩ හිමිකරුවන් 12 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කළේය.

එසේම පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සහ පාරිභෝගිකයින් නොමග යවන අයුරින් ලේබල් සකසා ජලය අලෙවි කළ ආයතනවලට එරෙහිව ද නඩු පවරා රුපියල් ලක්ෂ 09ක දඩ මුදලක් අය කරගෙන තිබේ. දැනුවත් කිරීම් සිදු කර තිබියදීත් දිගින් දිගටම නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් කාර්යාලය අවධාරණය කරයි.