ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කරමින්, රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

සැකකාර මන්ත්‍රීවරුන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. ඊයේ (30) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීම අතරතුර හටගත් නොසන්සුන්කාරී තත්ත්වයකදී මෙම සිද්ධිය වාර්තා විය.

සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත සහ එම්.එම්.එම්. යෙසීර්, සමගි ජන බලවේගයේ ප්‍රභාත් සෙනවිරත්න සහ කපිල කොහොබන් මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නිමාලි චම්පිකා යන මන්ත්‍රීවරුන්ය.