සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, ලබන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, සතොස සතු ලොරි රථයක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා යොදා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක (250,000) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක විය.

සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මත, ඊයේ (30) කුරුණෑගල ප්‍රදේශයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය, පොදු දේපළ පනත උල්ලංඝනය, රජයේ දේපළ අවභාවිතය සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා ගොනු කර ඇත.