ගල්කිස්ස, විජය පාර බෝ ගස අසල මාර්ග බාධකයේ රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) රාත්‍රියේ අදාළ සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයෙකු මෙම මාර්ග බාධකයේ රාජකාරි සඳහා යොදවා සිට ඇත. එම අවස්ථාවේදී රාජකාරි පරීක්ෂා කිරීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී පොලිස් සැරයන්වරයා, සිවිල් ආරක්ෂක බටයා සහ තවත් බාහිර පුද්ගලයෙකු මාර්ග බාධක කුටිය තුළ රැඳී සිටින ආකාරය උප පොලිස් පරීක්ෂකවරයා නිරීක්ෂණය කර ඇත. වහාම යතුරුපැදියෙන් බැස කුටිය තුළට ගිය නිලධාරියා දැක ඇත්තේ ඔවුන් මත්පැන් පානය කරමින් සිටින ආකාරයයි. එම අවස්ථාවේදීම උප පොලිස් පරීක්ෂකවරයා සිය ජංගම දුරකථනයෙන් ඊට අදාළ වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා 55 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.