හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ දයා ගමගේට අයත්ව තිබූ ‘බිම්පුත්’ (Bimputh) නැමැති මූල්‍ය සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (NSB) අති විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව කෝප් (COPE) කමිටු රැස්වීමේදී අනාවරණය විය.
දැනට බංකොලොත් වී ඇති බව කියන මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 2016 සහ 2019 යන වර්ෂවලදී රුපියල් කෝටි ගණනක ණය මුදල් ලබා දී ඇත්තේ කිසිදු ඇපකරයක් හෝ සුරැකුමක් ලබා ගැනීමකින් තොරව බව මෙහිදී හෙළි විය. මෙම ණය ලබා දෙන කාල වකවානුව තුළ දයා ගමගේ යහපාලන රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
මෙම ණය ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඊට පිළිතුරු ලබා දුන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉහළම නිලධාරීන් කමිටුව නොමග යැවීමට උත්සාහ කළ බවට ද චෝදනා එල්ල විය. ණය මුදල නැවත අය කර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව බැංකු නිලධාරීන් ප්‍රකාශ කළ ද, කෝප් කමිටුව පෙන්වා දුන්නේ බැංකුව සතුව අභ්‍යන්තර නීති අංශයක් ක්‍රියාත්මක වන බැවින් සාමාන්‍ය ණය ගැනුම්කරුවන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග මෙම සමාගම සම්බන්ධයෙන් ගෙන නොමැති බවයි.
සාමාන්‍යයෙන් ණය පැහැර හරින ගනුදෙනුකරුවන්ට එරෙහිව නීතිපති උපදෙස් නොමැතිව බැංකුවේ බලතල ප්‍රකාරව නඩු පැවරීම හෝ ඇප සින්න කර ගැනීම සිදු කළ හැකි වුවද, දේශපාලන බලපෑම් මත ලබා දුන් මෙම ණය මුදල අය කර ගැනීම ප්‍රමාද කිරීමට බැංකු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.