කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරි වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක දැක්වෙන්නේ, සිදු කළ මූලික විමර්ශනවලට අනුව වගකිවයුතු රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී ඇති බවයි. ඔහු විසින් සිදු කළ එම ප්‍රකාශ හරහා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් සහ මහජනතාව අතර නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව ද අදාළ ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තහවුරු කළේ, විනය පරීක්ෂණයකට යටත්ව තම රාජකාරි වැඩ තහනම් කර ඇති බවයි.