හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි විමර්ශන කඩිනමින් අවසන් කර, සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
ඊට අමතරව, ඉකුත් දිනවල අධිකරණ පරිශ්‍රය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි විමර්ශනය කර, වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කළේය.
රජයේ නිල සංචාරයක් ලෙස දක්වමින් 2023 වසරේදී රුපියල් ලක්ෂ 166ක රාජ්‍ය මුදලක් අවභාවිත කරමින් පුද්ගලික විදෙස් සංචාරයක නිරත වූ බවට රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනාවට අදාළව, පසුගිය අගෝස්තු 23 වනදා ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුව, ඔහුගේ රෝගී තත්ත්වය විශේෂ කරුණක් ලෙස සලකා, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට අගෝස්තු 26 වනදා එවකට සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළාය.