මෙරට ප්‍රමුඛතම ඇඟලුම් සමාගමක් වන MAS හෝල්ඩින්ස් හි සමස්ත සමූහයේම දත්ත විද්‍යා ප්‍රධානී ලෙස කටයුතු කළ චතුරංග අබේසිංහ මහතා, තමන් ජාතික ජන බලවේගය (NPP) සමග එක්වීමේ තීරණාත්මක කතාව සහ ඊට පෙර ජවිපෙ පිළිබඳ දැරූ ආකල්පය පිළිබඳව ප්‍රථම වරට හෙළිදරව්වක් සිදු කළේය.

ලහිරු මුදලිගේ සමග “Standby with Lahiru” යූටියුබ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

මුලදී තමන් අනුර කුමාර දිසානායක මහතාව හෝ ජනතා විමුක්ති පෙරමුණව විශ්වාස නොකළ අයෙකු බව අවධාරණය කළ අබේසිංහ මහතා, “මම අනුර දිසානායක හෝ ජවිපෙ විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. විශ්වවිද්‍යාල කාලෙදිවත් ජවිපෙ දේශපාලනය මට ගැළපුණේ නැහැ,” යැයි පැවසීය.

දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂ්‍යය

තම දේශපාලන පිවිසීම 2018 වසරේ දින 52 ආණ්ඩු කුමන්ත්‍රණයත් සමග සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස ආරම්භ වූ බවත්, පසුව 2019 ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය මෙහෙයුම් සඳහා සහය වීමට ලැබුණු ආරාධනාවක් හරහා පක්ෂය සමග සමීපව වැඩ කිරීමට අවස්ථාව උදා වූ බවත් ඔහු සඳහන් කළේය.

“ඒ කාලයේ පක්ෂ කාර්යාලයට ගිහින් මාස හතරක් විතර උදේ හවා වැඩ කළා. එතනදී තමයි මට මේ මිනිස්සු කවුද, ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්න ලැබුණේ,” යැයි ඔහු පැවසීය.

අනුර සහ හරිනි ගැන ඇතිවූ විශ්වාසය

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්ව ගුණාංග පිළිබඳව තමා තුළ විශාල විශ්වාසයක් ගොඩනැගුණු බවත්, විශේෂයෙන්ම ඔහුගේ දැක්ම, අන් අයට සවන් දීමේ හැකියාව සහ වගකීම සමග වගවීම පැවරීමේ (responsibility with accountability) ආයතනික ලෝකයේ තමා දුටු නායකත්ව ලක්ෂණ ඔහු තුළින් දුටු බවත් අබේසිංහ මහතා අවධාරණය කළේය.

එමෙන්ම, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ දේශපාලන ආගමනය “ලංකාවේ අනාගතය වෙනස් කළ චරිතයක්” ලෙස හඳුන්වමින් ඔහු පැවසුවේ, “හරිනි දේශපාලනයට පැමිණීමම 2019 දී සිදුවූ විශාල පිම්මක්. අගමැති අපේක්ෂිකාව ලෙස ඇයව නම් කිරීම ඉතා සුදුසු තීරණයක්,” යනුවෙනි.

“මම BOT කෙනෙක්”

තම වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ දර්ශනය ‘ගොඩනගන්න, ක්‍රියාත්මක කරන්න, සහ පවරන්න’ (Build, Operate, Transfer – BOT) බව පැවසූ චතුරංග අබේසිංහ මහතා, තමන් යම් දෙයක් ගොඩනගා, එය සාර්ථකව ක්‍රියාත්මක කර පෙන්වා, පසුව එය ඉදිරියට ගෙන යාම සඳහා අන් අයට භාරදී නව අභියෝගයක් වෙත යොමු වන බව සඳහන් කළේය.

MAS හෝල්ඩින්ස් ආයතනය තුළ මෙරට ප්‍රථම වරට මානව සම්පත් විශ්ලේෂණ (HR Analytics) අංශය ආරම්භ කිරීමේ සිට සමස්ත සමූහයේ දත්ත විද්‍යා අංශය මෙහෙයවීම දක්වා වූ තම ආයතනික ගමන මෙන්ම, වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය ද එම දර්ශනය මත පදනම් වූවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුරයේ උපත ලබා, ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණ විශේෂ උපාධියක් ලබාගත් චතුරංග අබේසිංහ මහතා, තරුණ වෘත්තිකයන් විශාල පිරිසක් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ ප්‍රමුඛයෙකු ලෙස මේ වන විට කටයුතු කරයි.