විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී සන්ධානගත වුවද, එය වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තරග කිරීමට සූදානම් වීම පිළිබඳව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ, “ඒක ඒගොල්ලන්ගේ පක්ෂයේ තීරණයක්. අපිට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට පළාත් සභා ඡන්දය දිනන්න ශක්තිමත් අපේක්ෂක කණ්ඩායම් ඉන්නවා. සමහරවිට ඒගොල්ලන්ට ශක්තිමත් අපේක්ෂකයෝ නැති නිසා වෙන්න ඇති පාර්ලිමේන්තුවේ ඉන්න අයව දාන්න හදන්නේ. ඒක අපිට ප්‍රශ්නයක්වත් අභියෝගයක්වත් නෙමෙයි,” යනුවෙනි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වීම අභියෝගයක් නොවේදැයි නැවත ප්‍රශ්න කළ විට, අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ, “අපි අවුරුදු 76ක් පැවති හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ සහ පාතාලය සමග තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කරලා තියෙනවා. ජනතාවට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා විපක්ෂයේ සුන්බුන් ඔක්කොම එකතු වුණා කියලා අපිට අභියෝගයක් ඇත්තෙම නෑ,” යනුවෙනි.
මීට අමතරව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බව පිළිගත් ඔහු, එම තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, නිශ්චිත කාලයක් සහ ප්‍රමාණයක් සඳහා පාලනයකින් යුතුව කීරි සම්බා ආනයනය කිරීමට අවසර ලබාදුන් බවද සඳහන් කළේය.
මහා කන්නයේ පොහොර සහනාධාරය ලබාදෙන්නේ මුදලින් බවත්, සහනාධාර ලබන ගොවීන් රජයටම වී අලෙවි කළ යුතු බවට නීතියක් නොමැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, කෙසේ වෙතත් මෙවර වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් වී තොගයක් ලැබී ඇති බවද වැඩිදුරටත් පැවසීය.