හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 12 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට භාර දෙන ලදී. විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ නඩුවට අදාළ තවත් ලේඛන කිහිපයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින වෙනත් නඩුවක ඇති බවයි.

ඒ අනුව, එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වයටම අවස්ථාව ලබා දෙමින්, නඩුව නොවැම්බර් 06 වනදා යළි කැඳවීමටත්, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 12 වනදා පැවැත්වීමටත් විනිසුරුවරයා දින නියම කළේය.